කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව තහනම් උත්තේජක පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින බවත් තහනම් උත්තේජක මර්දනය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පාසල් විෂය මාලාවටද මෙය අන්තර්ගත කළ යුතු බවත් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා පැවසීය.
දකුණු ආසියානු කලාපීය උත්තේජක පාලන සංවිධානයේ (SARDO) වාර්ෂික අධ්යක්ෂ මණ්ඩල රැස්වීම හා තහනම් උත්තේජක නිවාරන සතිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සෑම වසරකදීම පවත්වන තහනම් උත්තේජක නිවාරණ සතිය නොවැම්බර් දෙවැනි සතියට යෙදී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීවලී මහතා, "ගොඩ දෙනෙක් දන්නෙ නෑ. මේකෙන් ඇති වෙන්න පුළුවන් සංකූලතා. විශේෂයෙන් පාසල් යන ළමයි කායවර්ධනය වෙනුවෙනුත් ක්‍රීඩාවක් ලෙසිනුත් කායවර්ධන ක්‍රීඩාව කරනවා. මෙමගින් ඉතාම අහිතකර උත්තේජකයන් රටට එන්න පුළුවන්. ඇමෙරිකාවේ සිදුකළ පරීක්ෂණයක් මගින් සොයා ගත් දෙයක් තමයි අක්මාවේ එන්සයිම වැඩි වෙලා හානියක් කරන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි ආහාර අතිරේකයන් (Supplements) කියලා
ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. අමාත්‍යාංශය හරහා වෙනත් දෙපාර්තමේන්තු (උදා රේගුව, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය) සම්බන්ධ කරගෙන ඒ හරහා දැනුවත් කිරීම් කරන්න. අපිට පේන දෙයක් තමයි තාමත් ගම්බදව තහනම් උත්තේජක පිළිබඳ දැනුවත් කිරීම් ලැබිල නෑ. මේ වසරට අපි ක්‍රීඩකයන් 1200 කට පමණ වැඩමුළු 25 ක් විතර පවත්වල තියෙනවා. රග්බි, කායවර්ධනය, බර ඉසිලීම වැනි ක්‍රීඩා තිබෙනවා තහනම් උත්තේජක ගන්න ප්‍රවණතාව වැඩියි. ඒ නිසා අපි ඔවුන්ට දැනුවත් කිරීම් වැඩි කරනවා." යැයි පැවසීය.
මේ සඳහා දකුණු ආසියාතික තහනම් උත්තේජක මර්දන සංවිධානයේ හා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා, අන්තර්ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (වාඩා) නිලධාරීන් දෙදෙනෙකු වන ටොම් මේ හා කසුහිරෝ කයාෂි යන මහත්වරු සහභාගි වූහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජක මර්දනය හා කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක ගැටලුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාව
සාමාන්‍යයෙන් වාඩා සංවිධානය ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාව වෙනුවෙන් යම් රසායනාගාරයකට අනුමැතිය දෙන්න එම රසායනාගාරයේදී වසරකට පරීක්ෂණ තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් කළයුතුයි.
අපි අවට එවැනි රසායනාගාර තුනයි තියෙන්නේ (ඉන්දියාව, තායිලන්තය හා කටාර්). හැම පොඩි රටකටම පරීක්ෂණාගාරයක් ලබාදීම ප්‍රායෝගික නෑ. මොකද වසරකට පරීක්ෂණ තුන් දහසක් වගේ ප්‍රමාණයක් කරන්න ඕන. ඒවගේම එක පරීක්ෂණයට ඩොලර් 200 ක් 300 ක් වගේ ගාණක් වැයවෙනවා. ඒ වගේම ලංකාවේ වසරකට පරීක්ෂණ 200 ක් 300 ක් වගේ තමයි කරන්නේ. කලාපයේ අනෙක් රටවලත් මීට අඩුවෙන් තමයි කරන්නේ.
කුසල් ජනිත් පෙරේරාගේ පරීක්ෂණය හා කටාර් තහනම් උත්තේජක මර්දන ආයතනය
ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජක පරීක්ෂණ වෙනුවන් වැඩිපුරම යවන්නෙ ඉන්දියාවටයි. නමුත් ක්‍රිකට් පිළිබඳ තහනම් උත්තේජක පරීක්ෂණ පැවැත්වීමේ බලය වාඩා මගින් ලබා දීල තියෙන්නෙ අයි.සී.සී.යට (අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය) කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක පරීක්ෂණ පැවැත්වීමට කටාර් වෙත ලබාදී තිබුණෙ අයි.සී.සී.යෙන්. කෙසේ නමුත් අපි ඉදිරියේදීත් අපි සාම්පල් පරීක්ෂණ කරන්න යවන්නෙ ඉන්දියාවටයි.
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් 2016 තහනම් උත්තේජක නිවාරණ සතිය නිමිති කරගෙන පහත දැක්වෙන විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇත.
01. දකුණු ආසියානු කලාපීය උත්තේජක පාලන සංවිධානයේ (SARADO) වාර්ෂික අධ්යක්ෂ මණ්ඩල සැසිවාරය මේ මස 06 වැනිදා සහ 07 වැනිදා කොළඹදී පැවැත්වීම.
02. දීප ව්‍යාප්ත මට්ටමින් තෝරාගත් වෛද්‍ය වෘත්තිකයන් 20 දෙනෙකුට උත්තේජක පරීක්ෂණ පාලන නිලධාරීන් (Doping Control Officers) ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක් එළඹෙන 16, 17 සහ 18 යන දිනවල කොළඹදී පැවැත්වීම.
03. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයට අනුබද්ධ විනය පරීක්ෂණ මණ්ඩලය සහ අභියාචනා මණ්ඩලවල සේවය කරන සාමාජිකයන් සඳහා වන විශේෂ දෙදින වැඩමුළුව එළඹෙන 19 වැනිදා සහ 20 වැනිදා කොළඹදී පැවැත්වේ.
ඡායාරූප- ක්‍රිශාන් රණසිංහ