ක්‍රිකට් පරිපාලනයේ විශාල කඩාවැටීමක් තිබෙන බවත්, එම තත්ත්වය වෙනස්කිරීමේ කාලීන අවශ්‍යතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග වැදීමට තීරණය කළ බව තිලංග සුමතිපාල මහතා පැවසීය. ක්‍රිකට් නිලවරණය සඳහා තරග වදින තිලංග පාර්ශ්වය හඳුන්වාදීම සඳහා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුමතිපාල මහතා මෙම අදහස් දක්වා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුමතිපාල මහතා පවසා සිටියේ, වත්මන් ක්‍රිකට් පරිපාලන තත්ත්වය පරිවර්තනය කළ හැකි ශක්තිමත් කණ්ඩායමක් තමන් සතු බවත්, ඔවුන් සියල්ලන්ගේ සහයෝගයෙන් ඉදිරියේ කරුණු 06 ක් යටතේ ක්‍රිකට් පරිපාලනය කරන බවයි.
ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්රයේ දැවැන්තම නිලවරණය ක්‍රිකට් ආයතනයේ නිලවරණය වන අතර, ඒ සඳහා තරග වදින එක් පාර්ශ්වයක් තිලංග පාර්ශ්වය වේ. වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක මෙන්ම, හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතා මෙම කණ්ඩායමේ සභාපති තනතුරට තරග වදියි. හිටපු සභාපති ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් යන අය උපසභාපති තනතුරු සඳහාද, මොහාන් සිල්වා ලේකම් තනතුර සඳහාද තරග වදින අතර, ෂම්මි සිල්වා භාණ්ඩගාරික වශයෙන්ද, රවින් වික්‍රමරත්න නියෝජ්‍ය ලේකම් සඳහාද තරග වැදීමට නියමිතව ඇත.
නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීම පිළිබඳ අදහසක් දැක්වූ සුමතිපාල මහතා,
"ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල ඇදවැටීම, කඩාවැටීම ගැන පසුගිය මාස කිහිපයේ නොයෙකුත් සාමාජිකයන් සමග සාකච්ඡා පැවැත්වූවා. විශේෂයෙන් මමත්, ජයන්ත ධර්මදාස මහතාත් සාකච්ඡා කළා. අපි සමග ඉන්න සාමාජිකයන්ට අමතරව වත්මන් ක්‍රීඩකයන් හා හිටපු ක්‍රීඩකයන්, පරිපාලකයන් හා පාලක මණ්ඩලයේ නිලධාරීන් දිගින් දිගටම අපෙන් ඉල්ලීම් කළා ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය පරිවර්තනය කරන්න කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස සාකච්ඡා කර වැඩක් කළහැකි, ක්‍රිකට් ක්‍රීඩාව පරිවර්තනය කරන්න පුළුවන් කණ්ඩායමක් අපට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. ඔවුන්ගේ ඉල්ලීම මත මම සභාපති ධුරයට ඉදිරිපත් වෙන්න තීරණය කළා" යැයි පැවසීය.
තම කණ්ඩායම පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම,
"මේ කණ්ඩායම අපි තෝරාගත්තෙ සාමාජිකයන් සමග සාකච්ඡා කරලා. අපේ කණ්ඩායම අත්දැකීම්, හැකියාව හා විවිධ ක්ෂේත්රයන්හි දක්ෂතා තිබෙන කණ්ඩායමක්. ඔවුන් ඕනෑම කෙනෙකුට මාස 06 ක් තනියම පරිපාලන කටයුතු වුවත් කරන්න පුළුවන්. අපිට තිබුණා ඕනෑම දෙයක් වෙන්න කියලා පැත්තකට වෙලා ඉන්න. නමුත් අවසන් මාස එකහමාර තුළදී අපව හමුවූ ක්‍රීඩා සමාජ හා ඇතැම් පාර්ශ්ව දැඩිව කිව්වා මේ පාරෙන් (නිලවරණය හරහා) ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැත්නම් නැවත ජීවිතේට ක්‍රිකට්වලට එන්න එපා. මොකද නැවත එන්න ක්‍රිකට් ආයතනයක් ඉතුරුවෙන්නේ නැහැ කියලා. එමනිසා අපි කට්ටියම එකතු වෙලා තීරණය කළා, ක්‍රිකට් ක්‍රීඩාවේ සුභසිද්ධිය නිලවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න".
මෙහිදී අරමුණු හයක් යටතේ ඉදිරි පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සුමතිපාල මහතා විසින් සිදුකළේය. ඒ අනුව (1) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා, (2) දේශීය ක්‍රිකට් ක්‍රීඩා, (3) සංවර්ධනය, (4) පරිපාලනය, (5) මූල්‍යමය හා (6) සන්නිවේදනය යන කරුණු ගැන අවධානය යොමුකර ඇත.
පසුගියවර නිලවරණයේදීද සුමතිපාල මහතා සභාපති තනතුර සඳහා තරග වැදුණද, තරග වැදීම සඳහා පැනනැගුණු සුදුසුකම් ලැබීමේ ගැටලුවක් හමුවේ එවර තරග වැදීමට නොහැකි විය. කෙසේ නමුත් මේ වනවිට එම සියලු ගැටලු විසඳී අවසන් බව පෙන්වා දුන් අතර, නැවත එවැනි ගැටලුවක් පැන නොගනිණු ඇතැයි අනාවරණ කර සිටියේය.
"පසුගිය වර නිලවරණයට ඉදිරිපත් වීමේදී මම ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණ සමාගමක කටයුතු කිරීම, පුවත්පත් සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වීම, අනෙක සූදු ව්‍යාපාර (Gambling business) වලට සම්බන්ධයි කියලා මට ප්‍රශ්න තුනක් මට පැන නැගුණා. කෙසේ නමුත් ඒ වනවිට සූදූ ව්‍යාපාරවලට සම්බන්ධයි කියන කරුණ හෝ පුවත්වපත් ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු නොවී සිටීම නිසා අයි.සී.සී.යෙන් ලිපියක් ලබාදුන්නා මට නිලවරණයට ඉදිරිපත්වෙන්න ගැටලුවක් නැහැ කියලා. නමුත් ඒ කාලෙ මම ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ තනතුරෙන් ඉවත්ව සිටියත්, මගේ බිරිඳ එහි කටයුතු කර තිබීමේ ගැටලුව නිසා නිලවරණයට ඉදිරිපත්වෙන්න නොහැකි වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මට තහනමක් නැතිනම්, මම හිතන් නැහැ මට නිලවරණයයේදී ගැටලුවක් ඇතිවෙයි කියලා" යැයි පවසා සිටියේය.
ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා බාරදීම අද (04දා) අවසන්වන අතර ජනවාරි මස 03දා නිලවරණය පැවැත්වීමට නියමිතය.