තරග වාර්තා 23 ක් අලුත් කරමින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (26දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. අලුත් වූ තරග වාර්තාවලට අමතරව එහි එක් තරග වාර්තාවක් සම විය. සිවුදිනක් පුරාවට පැවැති මෙම තරගාවලිය පසුගිය සෙනසුරාදා (23දා) ආරම්භ වූ අතර, ඉසව් 130 ක් යටතේ තරග පැවැත්විණි.
මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තෝරාගැනීමක් සිදු නොවූ අතර, වයස් කාණ්ඩවල දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව පමණක් (අභියෝග ශූරතා) නම්කරනු ලැබීය. එම අභියෝග ශූරතා අතරේ වයස අවුරුදු 23 පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යූ.පී. කරුණාසිංහ (යුද හමුදාව) සම්මාන දිනාගත් අතර, එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කේ.ඒ. දුලාංජලී (ගුවන් හමුදාව) සම්මාන දිනාගත්තාය.
ඊට අමතරව අවුරුදු 20 පහළ දක්ෂතම ක්‍රීඩකයා සම සම්මානය ඒ.වී. අකිල රවිශංක (රත්පුර සීවලී ම.ම.වි.) හා එල්.පී. ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්) දිනාගත් අතර, රුමේශිකා කුමාරි රත්නායක (කෑගල්ල ශා. ජෝශප්) එහි කාන්තා ශූරතාව දිනාගත්තාය.
යූ. චන්ද්‍රසේන (මීගමුව මාරිස්ටෙලා) 18 පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගනිද්දී, ඩී.එම්. දුලාංජලී (අඹගමුව ම.ම.වි.) එහි කාන්තා ශූරතාව දිනාගත්තාය. 16 පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්‍රමෝද් මධුභාෂ් (මීගමුව මාරිස්ටෙලා) සම්මාන දිනාගත් අතර, එම්.කේ. ප්‍රසාදි ලක්ෂානි (ගම්පහ සිරිකුරුස) එහි කාන්තා ශූරතාව දිනාගත්තාය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ ත්‍යාග හා සහතික පත් ප්රදානය සඳහා සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති සුගත් තිලකරත්න යන අය සහභාගී වූහ.
ඡායාරූප ඉසුරු පෙරේරා