ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී ඊයේ (06දා) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 90ක් අවසනදී කඩුලු 05ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටියහ.
පන්දුවට පහරදෙමින් සිටින ධනංජය ද සිල්වා සිය දෙවැනි ටෙස්ට් ශතකය රැස්කරමින් ලකුණු 100ක් හා අසේල ගුණරත්න ලකුණු 13ක් රැස්කර ගෙන සිටිති.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ.
ලකුණු 26ක් රැස්කර ගෙන සිටි දිමුත්, හැමිල්ටන් මසකඩ්සාගේ පන්දුවක් හමුවේ සීන් විලියම්ස් වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් පෙරේරාට වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ අතර, ලකුණු පුවරුව 66ක් වනවිට ලකුණු 04ක් පමණක් රැස්කර ගෙන සිටි ඔහු මසකඩ්සාගේ දෙවැනි කඩුල්ල ලෙස ගොදුරු වෙමින් කාල් මුම්බාවෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා දවාගැනීමට ක්‍රිස්ටෝපර් මෝෆු සමත්විය. කුසල් මෙන්ඩිස් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 18ක සබඳතාවක් ගොඩනැගූ කෞෂාල් ලකුණු 37කට දැවී ගියේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම ඇඳවැටෙන්න ඉඩ නොදුන් උපුල් තරංග, කුසල් හා එක්ව ඉනිම මුළු ලකුණු 112ක් දක්වා රැගෙන ආවේය. මෙවර තරග සංචාරය එතරම් සාර්ථක නොවූ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී දිගු ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකිවූ අතර, ඔහු ලකුණු 26ක් රැස්කර ගෙන සිටියදී ඩොනල්ඩ් ට්රිපානෝගේ පන්දුවක් හමුවේ කඩුලු රකින පීටර් මුවර් වෙත උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ ඊයේ (06දා) බිඳවැටුණු අවසන් කඩුල්ල ලෙස උපුල් තරංග (79) දැවී ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සබඳතාවක් ගොඩනැගූ තරංග, ධනංජය ද සිල්වා හා එක්ව 05 වැනි කඩුල්ලට ලකුණු 143ක් එක් කළේය.