ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස නැවතවරක් පත්වීමට ඉන්දිය කණ්ඩායම ඊයේ සමත්වූයේය. ඒ නවසීලන්ත කණ්ඩායම හා ඊයේ නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුළු 178ක ජයක් ලබාගැනීමෙන් අනතුරුවය.
ඉන්දීය න්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම නිසා සංචාරක නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 178ක ජයක් හිමිකර ගනිමින් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
කොල්කටා හිදී පැවැති තරගයේ හතර වැනි දිනයේදී ලකුණු 376 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 197කට සීමා විය. ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 74ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගෙන් ලැබුණු අඩු දායකත්වය නිසා තරගයේ වැඩි වාසි හිමිකර ගැනීමට නවසීලන්තය අපොහොසත් විය.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් මොහොමඩ් ෂාමි, රවිචන්ද්‍ර අෂ්වින් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 03 බැගින් බිඳහෙලූහ.තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 316ක් රැස්කළහ.චේතේෂ්වර් පුජාරා (87) හා අජින්ක්‍යා රහානේ (77) එහිදී ඉන්දියාව වෙනුවෙන් වැඩි දස්කම් දැක්වූහ.
නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි කඩුලු 03ක් දවාලමින් එහිදී දස්කම් දැක්වීය. කෙසේ නමුත් ඉන්පසු සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට කඩුලු 10ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 204ක් පමණි. ජීට්න් පටෙල් (47) හා රොස් ටේලර් (36) නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් බුවනේෂ්වර් කුමාර් කඩුලු 05ක් බිඳහෙලීය.
ඒ අනුව ලකුණු 112ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දියාව දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 263ක් රැස් කළ අතර, රෝහිත් ෂර්මා (82) හා රිද්දිමාන් සාහා (58) ඉන්දීය ඉනිම ඔසවා තැබීමට සමත්වූහ.
ඉන්දියාව වෙනුවෙන් ඉනිම දෙකේදීම සාර්ථක වූ රිද්දිමාන් සාහා තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත්විය. තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය මේ මස 8 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වේ.