පිතිකරුවන් සිය වගකීම් අකුරටම ඉටුකරමින් දැවැන්ත ඉලක්කයක් ගොඩනගාගත්ද, පන්දු යවන්නන්ගේ අසාර්ථකවීම ඉදිරියේ එම ඉලක්කය පහසුවෙන් උදුරාගත් එංගලන්තය පිතිකරුවෝ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ලන්ඩන්හි අද (30දා) අළුයම (මෙරට වේලාවෙන්) අවසන් වූ සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් ලැබීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 308ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම තරගයේ 40.1 වැනි පන්දුවාරයේදී කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කෙරිනි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් සම්පූර්ණයෙන් අසරණ කරමින් අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකළ ජේසන් රෝයි පන්දු 118කදී ලකුණු 162ක් රැස්කිරීමට සමත්වූ අතර, සෙසු පිතිකරුවෝ එය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇති (වසස අවුරුදු 10දී එංගලන්තයට සංක්‍රමණය වී ඇත) 21 හැවිරිදි රෝයිගේ මෙම ඉනිම එංගලන්ත පිතිකරුවෙකු එක්දින තරග බිමේ ක්‍රීඩාකළ දෙවැනි ඉහළම ඉනිම වේ.
කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් සීමාවූ පන්දුවාර 42ක තුළදී කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 42ක තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු 308ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ සිටම තමන්ගේ පාලනයේ රඳවා ගැනීමේ අරමුණින් කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළ අතර, එහි උපරිම ඵල නෙළාගත් ඔවුන් තරගයේ දෙවැනි පන්දුවාරයේදීම කුසල්, දුවද්දී දැවී යාමකට හසුකරගැනීමට සමත් විය. ඒ වනවිට ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 08ක් පමණක් එක්ව තිබුණි. කෙසේ නමුත් කුසල් දැවීයාම ඉදිරියේ ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලබා නොදුන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිස ඉනිම ගොඩනැගීමේ වගකීම් භාරගත් කුසල් මෙන්ඩිස්, දෙවැනි කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් ගොඩනගා ඉනිම මුලු ලකුණු 136ක් දක්වා රැගෙන ආවේය.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනා ක්‍රීඩාකරමින් සිටියදී තරගයේ 18.1 වැනි පන්දුවාරයයේදී වර්ෂාවෙන් බාධා ඇති වූ අතර, ඉන් අනතුරුව තරගය ආරම්භ කළේ ඉනිමක් පන්දුවාර 42කට සීමාකරමිනි. වර්ෂාවෙන් බාධා ඇති වනවිට ඔවුන් දෙදෙනා මුලු ලකුණු 127ක් දක්වා ඉනිම රැගෙනවිත් තිබුණි. කෙසේ නමුත් නැවත තරගය ආරම්භයේදී වේගයෙන් ලකුණු ලබාගැනීමට උත්සාහ කළ කුසල් ලකුණු 77ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය.
මෙය කුසල් රැස්කළ තෙවැනි එක්දින අර්ධ ශතකය වන අතර, ඉන් දෙකක් එංගලන්තයට එරෙහිව නොකඩවා රැස්කර තිබීමට විශේෂත්වයකි.
කෙසේ නමුත් කුසල් දැවීයන විට ශ්‍රී ලංකා ඉනිම දැවන්ත ලකුණු සංඛ්‍යාවක් සඳහා අවශ්‍ය පදනම සකසාගෙන සිටි අතර, ඉන් අතතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් (63), ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 67) අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. මෙහිදී ධනුෂ්ක ගුණතිලක තම තෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 62ක් රැස්කළේය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට එංගලන්තයට හැකිවිය. තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ තරග 2-0ක් ලෙස එංගලන්තය මේ වනවිට පෙරමුණගෙන සිටියි.
තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ අතර, දෙවැනි තරගය කඩුලු 10ක් ජයගැනීමට එංගලන්තයට හැකිවිය. කෙසේ නමුත් තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
මෙම ජයග්‍රහණය එංගලන්තය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වසර පහකට පසු ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වේ. මීට පෙර දෙරට අතර (2011 - 2016 කාලය තුළ) තරගාවලි දෙකක් පවත්වා ඇති අතර, එම ද්විත්වයම ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
දෙරට අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගය ජූලි 02 වැනිදා කාඩිෆ්හිදී පැවැත්වේ.