මලල ක්‍රීඩා, රගර්, බැඩ්මින්ටන් යන ඕනෑම ක්‍රීඩා ඉසව්වක ජාත්‍යන්තර තරගාවලියකට කණ්ඩායමක් ඉදිරිපත් කරනවානම් අදාළ ක්‍රීඩා සංගමය විසින් තේරීම් තරග පවත්වා අවසන් සංචිතය තෝරාගැනීම සිදුකෙරෙයි. සාධාරණ හේතුවක් නොමැතිව එම සම්ප්රදාය බිඳ දමමින් යම්කිසි තරගාවලියකට ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක නම් කරනවානම්, ඒ සඳහා ඔවුන් තේරීපත් වන්නේ සෘජුව හෝ වක්‍රව සංගමයේ පක්ෂපාතිත්වය හෝ ප්රබලයෙකුගේ බලපෑම හිමිවූ නිසාය. එසේ නොවන්නට සංචිතයක් නම්කරන සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ ඉලක්කකරගත් යම් තරගාවලියකට පිරිසක් නම්කර ඔවුන්ගෙන් හොඳින් දක්ෂතා දක්වන පිරිස පමණක් අවසන් සංචිතයට තෝරාගැනීමය.
කෙසේ නමුත් දැල්පන්දු ක්ෂේත්රයේ මේ වනවිට කරළියට පැමිණ ඇති ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සිවුදෙනෙකු ඉදිරියේදී ආරම්භ වන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට නම් නොකර තිබියදී, ඔවුන් කණ්ඩායමට ඇතුළත්වීමේ උත්සාහයක නිරතවෙමින් සිටීමයි. හිටපු නායිකාවන්ද වන මෙම ක්‍රීඩිකාවන් මීට මාස කිහිපයකට ඉහතදී නම්කළ ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව නොමැති අතර, තේරීම් තරග සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබියදී තේරීම් තරග හතරකින් එකදු තරගයකටවත් ඔවුන් සහභාගී නොමැති බවද වාර්තා වේ. ඒ හේතුවෙන් පැවති දැල්පන්දු අතුරු පාලන කමිටුව මෙන්ම බලයට පත්වූ වත්මන් පරිපාලනයද ලෝක කුසලාන සංචිතයෙන් ඔවුන් ඉවත්කර ඇත.
නමුත් එකල තේරීම් තරගවලට සහභාගීවීමේ උත්සාහයක් නොතිබූ මෙම ක්‍රීඩිකාවන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීම අත ළඟට පැමිණ තිබියදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්වීමට පසුගිය දිනක සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා හමුවී සාකච්ඡා කර ඇත. ඔවුන්ගෙන් එක් ක්‍රීඩිකාවක් වත්මන් සංචිතයට ඇතුළත්වීමට ප්‍රබල උත්සාහයක නිරත වන අතර, ඇයගේ මඟපෙන්වීම යටතේ සෙසු ක්‍රීඩිකාවන් කටයුතු කරන බව තතු දන්නෝ පවසති. කෙසේ නමුත් ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී සිදුකළ සාකච්ඡා යම් තරමකට සාර්ථක වී ඇති බවට වාර්තා වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය වත්මන් දැල්පන්දු පරිපාලනයට මේ පිළිබඳ කරුණු විමසීමට අද (18දා) දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දන්වා ඇතැයිද සඳහන් වෙයි.
තමන්ට අසාධාරණයක් සිදුවූවා යැයි පවසන මෙම ක්‍රීඩිකාවන් සිවුදෙනාට මෙන්ම දැල්පන්දු සංගමය නියෝජනය කරමින් එහි වත්මන් සභාපතිවරිය, ලේකම්වරිය, තේරීම් කමිටු සභාපතිවරිය හා පුහුණුකාරිනියටද අද දින පැවැත්වෙන මෙම සාකච්ඡාවට පැමිණෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය දන්වා ඇත. කෙසේ නමුත් තතු දත් පිරිස් පවසන්නේ ඇතැම් පාර්ශ්වවල පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මෙම ක්‍රීඩිකාවන් අතකොළු බවට පත්කරගෙන ඇති බවත්, ඔවුන් පසුපස සිටිමින් මෙම ක්‍රීඩිකාවන් මෙහෙයවන බවත්ය.
ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් නොසලකා හැර එම පත්කිරීම සිදුකර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයාට ඔවුන් විසින් පෙන්වා දී ඇති තවත් කරුණක් වේ. පෙර කී ක්‍රීඩිකාවන් සිවුදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වීමට උත්සාහ දැරුවද ඔවුන්ගෙන් කිසිවෙකුට නායකත්වයට පත්වීමේ අපේක්ෂාවක් නොමැති අතර, ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ දැනට පත්කර තිබෙන නායිකාව ඉවත්කිරීම බවද වාර්තා වේ. ඒ වෙනුවෙන් ඔවුන් දැනට සංචිතයේ සිටින ක්‍රීඩිකාවක නායකත්වයට පත්කරවීමේ යෝජනාවක් කරළියට ගෙනැවිත් ඇති අතර, එම ක්‍රීඩිකාවද ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවැත්වෙන සාකච්ඡාවට පැමිණීමට නියමිතය. යම් හෙයකින් මෙම සාකච්ඡාවේදී දැනට නම්කර තිබෙන නායිකාව ඉවත්කර ඒ වෙනුවට සංචිතයේ සිටින වෙනත් ක්‍රීඩිකාවක පත්කිරීමට යෝජනා වුවහොත් එය සදාචාරාත්මක නොවන බවත්, එය එම ක්‍රීඩිකාවගේ මෙන්ම සමස්ත කණ්ඩායමේම මානසිකත්වයට අයහපත් ලෙස බලපාන බවත් අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේ.
පත්කර තිබෙන වත්මන් නායිකාව යොවුන් ක්‍රීඩිකාවක වුවද ඇය දැනට ලංකාවේ සිටින වැඩිම ජාත්‍යන්තර තරගාවලි සංඛ්‍යාවකට ක්‍රීඩාකර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි. කණ්ඩායමට ඇතුළත් නොවූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සිවුදෙනා පසුගිය කාලයේ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවට විශාල මෙහෙවරක් ඉටුකළද, ක්‍රීඩාවේ විනය ආරක්ෂා කරගැනීම මෙන්ම ජාතික වශයෙන් තීරණ ගැනීමේදී ජ්‍යෙෂ්ඨත්වය පසෙකලා තැබිය යුතු බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගැටලුවට මුහුණපා සිටින ක්‍රීඩිකාවන් පෞද්ගලික හේතු මත තේරීම් තරග සඳහා සහභාගී වී නොමැති බවයි. එම හේතු සාධරණීකරණය කළ නොහැකි බැවින් ඔවුන් වෙනුවට වෙනත් ක්‍රීඩිකාවන් තෝරාගෙන ඇති බවත්, එමනිසා තෝරාගත් ක්‍රීඩිකාවන් ඉවත්කළ නොහැකි අතර, එසේ කිරීම ඔවුන්ගේ ක්‍රීඩා අනාගතයට සිදුකරන හානියක් බවත් ඔවුහු පවසති.
එළැඹෙන අගෝස්තු මාසයේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකි. සමස්ත ආසියාවම යටත්කරගෙන සිටි ශ්‍රී ලංකාවට ඉකුත් ආසියානු ශූරතාවලි දෙකම ගිලිහී ගියේ කෙස්ගසේ වෙනසිනි. එමනිසා ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම මත හෝ වෙනත් අදිසි හස්තයක් මත දැනට සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් ඉවත්කර, ඒ වෙනුවට වෙනත් ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත් වුවහොත් දැල්පන්දු අනාගතයට සිදුවිය හැකි බලපෑම මෙපමණකැයි තක්සේරු කළ කිරීමටද නොහැකි වන්නේය.