කොළඹ ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ හා දඹුල්ල යන අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණවල ඉදිකරමින් පවතින ගෘහස්ථ ක්‍රිකට් පිටි (Indoor Nets) ව්‍යාපෘති තාවකාලිකව නවතාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.ඒ එම ව්‍යාපෘති සඳහා නිසි අවසරයක් ගෙන නොතිබීම හා ඒවා නීතිවිරෝධීව සිදුකර ඇති හෙයිනි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ, එම ගෘහස්ථ ක්‍රිකට් පිටි ව්‍යාපෘතිය නිසි අවසරයකින් නීත්‍යනුකූලව විනිවිදභාවයක් සහිතව නැවතත් ආරම්භ කිරීමට කටයුතු යොදන බවයි.
එහිදී එම ව්‍යාපෘති පිළිබඳව වැඩිදුරටත් අදහස් පළකළ සභාපතිවරයා,"අපි දැනට කරන්නෙ මෙම ව්‍යාපෘති නවතා ඒවා නීත්‍යනුකූලව නැවත ආරම්භ කිරීමයි. මෙතැන ටෙන්ඩර් ප්‍රශ්නයක් හෝ මුල්‍යමය ප්‍රතිපාදනවල ගැටලුවක් නැහැ. ගැටලුව තිබෙන්නෙ සැලසුම් හා ඊට අදාළ කාරණාවලයි." යැයි පවසා සිටියේය.
නව ක්‍රිකට් විධායක කමිටුව නැවත එම ගෘහස්ථ ක්‍රිකට් පිටි ව්‍යාපෘති ඇරඹීමට නව මිල ගණන් කැඳවීමටද කටයුතු කර තිබේ. එහිදී එම ඉදිකිරීම් සඳහා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයෙන් (CECB) මේ වනවිට උපදෙස් ලබාගැනීමටද විධායක කමිටුව කටයුතු කර තිබේ. අධික මිලගණන් යටතේ සිදුකර ඇති ව්‍යාපෘති නැවත සලකා බලා අවම මිල ගණන් යටතේ සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.