ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සම්මේලනය එක්ව සංවිධානය කරන 'ගනර් සුපර්ක්‍රොස්' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එළඹෙන ජූලි මස 5 වැනිදා මින්නේරිය කාලතුවක්කු හමුදා පරිශ්‍රයේදී පැවැත්වේ.
දසවැනි වරට පවත්වනු ලබන මෙම තරගාවලිය 2004 වර්ෂයේදී ආරම්භ කරන ලදී. ජාතිය වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමට තරගාවලිය සංවිධානය කරනු ලබයි.
යුද හමුදාවේ අයවළුන්ට පමණක් සීමා නොවී පොළොන්නරු පුරවරයේ සිටින සිසුන්ගේ සහ පොදු මහජනතාවගේ පිහිනුම් ක්‍රීඩාව තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ ලා මින්නේරිය කාලතුවක්කු හමුදා පරිශ්‍රය තුළ පිහිනුම් තටාකයක් ඉදිකිරීම යනාදී කරුණු මෙන්ම සමස්ත පොළොන්නරු පුරවරයේ පොදු මහජනතාවගේ සුබසාධනය උදෙසා මෙම තරගාවලියේ ප්රතිලාභ හිමි කර දී ඇතැයි ඔවුහු වැඩිදුරටත් දන්වා සිටිති.
තරගාවලිය සඳහා පසුගිය වසරේදී (2014) තරගකරුවන් 120 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එහිදී යතුරුපැදි අංශයේ ජයග්‍රහණය ෂෙහාන් සී. අධිකාරිටද මෝටර් රථ අංශයේ ජයග්‍රහණය අරවින්ද ප්‍රේමදාසටද හිමි විය.
මෙවර තරගාවලියට යතුරුපැදි ඉසව් 12 ක් හා මෝටර් රථ ඉසව් 11 ක් ඇතුළුව සමස්ත ඉසව් 23 ක් සඳහා විදෙස් තරගකරුවන්ද ඇතුළුව 150 කට අධික තරගකරුවන් පිරිසක් සහභාගී වන බව සංවිධායකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා (09දා) කොළඹදී පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී සහායක මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ, සිංගර් ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින් එහි අලෙවි අධ්යක්ෂ කුමාර් සමරසිංහ හා සියැට් සමාගම නියෝජනය කරමින් එහි විකිණුම් හා අලෙවි උප සභාපති රවී ඩඩ්ලානි යන මහත්වරු සහභාගී වූහ.
සිංගර් ශ්‍රී ලංකා ආයතනය ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ක්‍රියා කරන මෙහි නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි.
ඡායාරූප චානුක කුලසේකර