ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තානු කණ්ඩායම අතර හෙට (22දා) පැවැත්වෙන එක්දින තරගය හා ඉදිරියේදී පැවැත්වෙන තරග සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇත. ඒ අනුව ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ප්රේක්ෂකාගාරයන්හි පිටත ප්‍රදේශ මේ වනවිට දැල් මගින් ආවරණය කරමින් සිටියි.
ශ්‍රී ලංකාව හා පාකිස්තාන කණ්ඩායම අතර පසුගිය ඉරිදා (19දා) පැවැති තෙවැනි එක්දින තරගයේදී ඇතිවූ කලහකාරී සිදුවීමේදී, ක්‍රීඩාංගණයට පිටතින් සිටි පිරිස් ක්‍රීඩාංගණය තුලට ගල් ප්‍රහාර එල්ලකිරීමට කටයුතු කළ අතර, එම ගල් ක්‍රීඩා පිටියටද වැටුණු හෙයින් එම තත්ත්වය මැඬපැවැත්වීමට මෙම දැල් ආවරණය යෙදීමට පියවර ගෙන තිබේ.
කෙසේ නමුත් මෙවැනි සිදුවීමක් නැවත ඇති නොවීමට කටයුතු කරන ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ (20දා) පවත්වා ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා ඇති අතර, ඒ සඳහා පොලීසියේ උසස් නිලධාරීන්, ප්‍රේමදාස ක්‍රීඩාංගණය භාර ආරක්ෂක නිලධාරීන් හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීහු සහභාගී වී ඇත.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර පැවැත්වෙන ඉදිරි තරගවල ආරක්ෂාවට විශේෂ කාර්ය බළකායේ සහාය වැඩි වශයෙන් ලබාගැනීමට යෝජනාවී තිබේ. ඊට අමතරව තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩාලෝලීන් විධිමත් අයුරින් සෝදිසි කිරීම පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, පෙරේදා (19දා) පැවැති තරගයේදී සෝදිසි කිරීම්වල සිදුවූ අඩුපාඩු ගැනද සාකච්ඡා කර ඇත. ඒ අනුව ඉදිරි තරගවලදී ක්‍රීඩාලෝලීන් සෝදිසි කිරීම් දැඩිකිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් ක්‍රීඩාලෝලීන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩාංගණය තුළට රැගෙන ඒම වැළැක්වීම සම්බන්ධයේ වැඩි වශයෙන් අවධානයට ලක්වී තිබේ.
ඡායාරූප - කසුන් කැළුම්/ශාන්ත රත්නායක