සමස්ත තරගය තුළ ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ නොපසුබස්නා උත්සාහය මත ගොඩනැගුණු විශිෂ්ට ඉනිම් හේතුවෙන් ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරාජය කර සාජාහිදී ඊයේ (03දා) අවසන් වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. කෙසේ නමුත් තරග තුනකින් සමන්විත වූ මෙම තරගාවලිය, තරග 2-1ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත්විය.
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 153ක පහසු ඉලක්කය හඹාගිය කොදෙව් පිතිකරුවෝ, පන්දුවාර 43.3කදී කඩුලු 05ක් වැයකරමින් සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත්වූහ. පස්වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩනගමින් ක්‍රේග් බ්‍රැත්වේට් හා ශේන් ඩොව්රිච් කොදෙව්වන් ජයග්‍රහණය කරා මෙහෙයවූහ.
තරගයේ සිවුවැනි දිනය වූ පෙරේදා (02දා) දිනට තරගය නතර කරන විට කොදෙව්වෝ ජයග්‍රහණයට ලකුණු 39ක් පසුපසින් කඩුලු 05ක් දැවී ලකුණු 114ක් රැස්කරගෙන සිටියහ.
පාකිස්තානු කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගය පසුගිය ඉරිදා (30දා) ආරම්භ වූ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 281/10ක් රැස්කිරීමට සමත්වූහ. ඉන් අනතුරුව ඉනිම ඇරඹූ කොදෙව් කණ්ඩායම, සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 337ක් රැස්කළහ.
යළි පාකිස්තානු කණ්ඩායම ලකුණු 37ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ අතර, එහිදී ඔවුන්ට සියල්ලන් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 153ක ඉලක්කයක් හිමිවිය.
මෙම ජයග්‍රහණය වසර 09කට පසු කෙදෙව්වන්, තම මවුබිමෙන් පිටතදී තමන්ට වඩා ශ්‍රේණිගතකිරීම්හි ඉහළින් සිටින ටෙස්ට් රටක් පරාජය කළ පළමු අවස්ථාව වූ අතර, අවසන් වරට 2007 වසරේදී ඔවුන් දකුණු අප්‍රිකාව පරාජය කර ඇත. එමෙන්ම මෙය ජේසන් හෝල්ඩර් නායක ලෙස පත්වීමෙන් පසු ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය වේ. 24 හැවිරිදි හෝල්ඩර් තරග 12කදී කොදෙව්වන් මෙහෙයවා ඇති අතර, එහිදී තරග 08ක් පරාජය වී තරග 03ක් ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත්ව ඇත.
තරගයේ වීරයා ලෙස ක්‍රෙග් බ්‍රැත්වේට් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස යසීර් ෂා සම්මාන දිනාගත්තේය. ෂා මෙම තරගාවලියේ ඉනිම් 06කදී කඩුලු 21ක් දවාලීමට සමත්විය.
කොදෙව් කණ්ඩායමේ මැදපෙරදිග සංචාරයේ ටෙස්ට් තරගයන්ට අමතරව එක්දින හා විස්සයි20 තරග තුන බැගින් පැවැති අතර, එහිදී ප්‍රවර්ධන විස්සයි20 ලෝක ශූරයන්ද වන කොදෙව්වෝ එම සියලුම තරග පරාජය වූහ.
පාකිස්තානය පළමු ඉනිම 281/10 (පන්දුවාර 90.5)
සාමි අස්ලම් 74, මිස්බා උල් හක් 53, යුනිස් ඛාන් 51, සර්ෆරාස් අහමඩ් 51, දේවෙන්ද්‍ර බිෂෝ 4/77, ශනොන් ග්රේබ්රියල් 3/67, අල්සාරි ජොශප් 2/57
බ.ඉ. කොදෙව් පළමු ඉනිම 337/10 (පන්දුවාර 115.4)
ක්‍රෙග් බ්‍රැත්වේට් 142, රොස්ටන් චේස් 50, ශේන් ඩොව්රිච් 47, වහබ් රියාස් 5/88, මොහොමඩ් අමීර් 3/71
පාකිස්තානය දෙවැනි ඉනිම 208/10 (පන්දුවාර 81.3)
අසාර් අලි 91, සර්ෆරාස් අහමඩ් 42, මොහොමඩ් නවාස් 19, ජේසන් හෝල්ඩර් 5/30, දේවෙන්ද්‍ර බිෂෝ 3/46
බ.ඉ. කොදෙව් දෙවැනි ඉනිම 154/5 (පන්දුවාර 43.5)
ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවී 60, ශේන් ඩොව්රිච් නොදැවී 60, යසීර් ෂා 3/40, වයබ් රියාස් 2/46