සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා ඒ කණ්ඩායම අතර දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි නිල නොවන සිවුදින ක්රිකට් තරගය දෙවැනි දිනයට නිමා කරන විට පළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම කඩුලු 4ට ලකුණු 183ක් රැස්කරගෙන සිටියි.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 318ක් රැස්කිරීමට සමත්වූයේය. ඒ අනුව කොදෙව් කණ්ඩායම ශ්රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135ක් පසුපසින් සිටියි.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා (69), සඳුන් වීරක්කොඩි (79), චරිත් අසලංක (46) හා රොෂේන් සිල්වා (49) ඉහළම ඉනිම් ක්රීඩා කළහ. කොදෙව් කණ්ඩායමේ ඩී.ජොන්සන් ශ්රී ලංකා කණ්ඩායමේ කඩුලු පහක් බිඳ හෙළීය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්රීඩා කළ ෂිම්රන් හෙට්මේයර් ලකුණු 94ක් රැස්කිරීමට සමත්වූයේය. ඒ වෙනුවෙන් ඔහුට වැයවූයේ පන්දු 93ක් පමණි. සමාරා බෘක්ස් (43*) හා ජමාර් හැමිල්ටන් (05*) නොදැවී පන්දුවට පහර දෙමින් සිටිති. කසුන් මධුශංක, චරිත් අසලංක, ලක්ෂාන් සඳකැන් හා ළහිරු ගමගේ එක් කඩුල්ල බැගින් දවාගත්හ. හෙට තරගයේ තෙවැනි දිනයයි.
ඡායාරූප ශාන්ත රත්නායක