කොදෙව් ටෙස්ට් කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ඇතුළත් වුවත් එම කණ්ඩායම කිසිලෙසකින්වත් අවතක්සේරු නොකළ යුතු බවත්, ඔවුන් කණ්ඩායමට එක්ව තිබෙන්නේ දක්ෂතා දැක්වීම හේතුවෙන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පැවසීය.
උපරිම ශක්තියෙන් ක්‍රීඩාකර තරගාවලිය ජයගැනීම බලාපොරොත්තුව බවත් ඒ මහතා සඳහන් කළේය.
කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව 'අද' කළ විමසුමේදී ඔහු මේ බව පැවසීය.
ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන කොදෙව් කණ්ඩායම ඊයේ (01දා) දිවයිනට පැමිණියේය. තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළැඹෙන 14දා ගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කළ බවත්, අයහපත් කාලගුණය හේතුවෙන් ඒ සඳහා බාධාවක් ඇති වූ බවත් සභාපතිවරයා පැවසීය. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් නම් කිරීම ඉදිරි සතියේදී සිදුකිරීමට නියමිත බව පැවසූ සභාපතිවරයා, කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීම පිළිබඳව අවධානය යොමුකරන බවත් සඳහන් කළේය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගාවලියද වෙයි.
"අපට අවශ්‍ය ක්‍රීඩකයන් හඳුනා ගැනීම සඳහා ගිය තරගාවලි දෙකේම යම් යම් අත්හදා බැලිම් කළා. සංගක්කාර සම්පූර්ණයෙන් සමුගත්තාම කවුද එකතු කරගන්නෙ කියලා අපි සාකච්ඡා කළා. ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම හඳුනාගෙන තියෙනවා. යෞවන ක්‍රීඩකයන් මෙන්ම පළපුරුදු ක්‍රීඩකයන් යම් යම් ස්ථානවලට යොදාගන්නෙ කොහොමද කියන කරුණ ගැන අත්හදා බැලීම් කළා.
ඉතින් ඒවා ඔක්කොම උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙනවා. පළමු වැනි තරගයට තවත් සති දෙකක පමණ කාලයක් තියෙනවා. ඉදිරි සතියේදී පමණ කණ්ඩායම තෝරන්න බලාපොරොත්තු වෙනවා. නවක ක්‍රීඩකයෙක් දක්ෂතා පෙන්වා තිබෙනවා නම්, ඔවුන්ට කණ්ඩායමට ඇතුළු වීමේ අවස්ථාව තිබෙනවා"යැයි සභාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ, පන්දු යැවීමේදී හා පන්දුවට පහරදීමේ ගැටලු හඳුනාගෙන තිබෙන බවත්, ඒවා අවම කරගැනීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
"පසුගිය තරගාවලි දෙකේ ලකුණු රැස්කිරීමේ දුර්වලතා දැක්කා. යම් යම් අවස්ථාවල පන්දු යැවීමේ මෙන්ම පන්දු රැකීමේ දුර්වලතා දැක්කා. අපි ඒවා හඳුනාගෙන ඒවා පුහුණුකරුවන් සමගත්, ක්‍රීඩකයන් සමගත් සාකච්ඡා කරලා දුර්වලතා මග හරවාගන්න සැලසුම් කරලා තියෙන්නේ" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.