ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ තේරීම් තරග මාලාවේ දෙවැනි හා අවසන් අදියර පෙරේදා (29දා) ජපානයේදී අවසන් වූ අතර, කණ්ඩායම් 06 සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ 05 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
නායක තනූජා දිල්රුක්ෂි හා සන්දිකා හේමකුමාරිගේ සාර්ථක ක්‍රීඩා රටාව හේතුවෙන් 05 වැනි ස්ථානය සඳහා පෙරේදා (29දා) පැවැති තරගයෙන් ගුවාම් කණ්ඩායම ලකුණු 12-10 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
තරගයයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සන්දිකා හේමකුමාරි හා තනූජා දිල්රුක්ෂි සමත් වූ අතර, අයේෂා කළුආරච්චි ඉන් එක් උත්සාහක දිනුමක් ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කළාය.
ටෝකියෝහි චිචිබු කුමරු අනුස්මරණ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික වටයේ තරග 05 කට සහභාගි වූ අතර, ඉන් ජය ගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි. එම වටයේදීද ඔවුහු ගුවාම් රාජ්‍යයට එරෙහිව ලකුණු 22-07 ක පහසු ජයක් ලැබීමට සමත් විය. කෙසේ නමුත් හොංකොං (36-07), ජපානය (49-00), චීනය (36-07) හා කසකස්තානය (34 - 00) යන කණ්ඩායම් හමුවේ පරාජය වූහ.
මෙම අදියරේද කුසලාන ශූරතාව දිනාගැනීමට ජපානයට හැකිවූ අතර, අවසන් තරගයේදී කසකස්තානය ලකුණු 14-07 ක් ලෙස ඔවුන් හමුවේ පරාජය විය. කණ්ඩායම් 06 ක සහභාගිත්වයෙන් හොංකොංහි පැවැති තරගාවලියේ පළමු අදියරේද ශූරතාව ජපානය සතුවිය. පළමු අදියරේදී ශ්‍රී ලංකාවට අවසන් ස්ථානය (06) හිමිවිය.
ආසියානු කලාපයෙන් එක් කණ්ඩායමක් පමණක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබන අතර, ඒ අනුව ජපන් කාන්තා රග්බි කණ්ඩායම 2016 වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීය.