එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් තනි තනි වශයෙන් සෑම තරගයකදීම දක්ෂතා දැක්වීමට වගබලාගත යුතු බව ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පැවසීය.
එසේම තමන්ට විස්සයි20 නායකත්වය ආභරණයක් නොවන අතර, පිටියට ගිය විට නායකයෙකු වශයෙන් කළ යුත්තේ කුමක්ද යන්න හැමවිටම තමන් හඳුනාගෙන සිටින බවත්, විස්සයි20 ලෝක කුසලානය තමාට ලැබෙන තවත් එක් තරගාවලියක් පමණක් බව සිතා තරග කරන බවත් ඔහු සඳහන් කළේය.
වත්මන් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාවට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායමට එළැඹෙන විස්සයි20 ලෝක ශූරතාව වෙනුවෙන් කොන්ෆිඩන්ට් සමූහ ව්‍යාපාරයේ (Confident Group) අනුග්‍රහය ලබාදිම පිළිබඳව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පෙරේදා (21දා) ඔහු මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසිත් මාලිංග, "විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේ ක්‍රීඩකයන් තනි තනි වශයෙන් සෑම තරගයකදීම දක්ෂතා දැක්වීමට වගබලාගත යුතුයි. අපි තරගයෙන් තරගයට තමයි අපේ තරග සැලසුම් කරන්නේ. අපි විස්සයි20 ලෝක ශූරයෝ කියලා අමතර පීඩනයකින් තරග වදින්නෙ නැහැ. අපි එක් එක් ක්‍රීඩකයාගේ දක්ෂතා එකතු කරගෙන තරගාවලිය හොඳින් නිමකරන්න බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා පවසා සිටියේ, ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවෙන් උසස් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත්, මේ වනවිට ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලදී දක්වන දක්ෂතා හේතුවෙන් ලෝක කුසලානය සඳහා අනුග්‍රහයය දැක්වීමට කොන්ෆිඩන්ට් සමූහය වැනි ව්‍යාපාර ජාලයක් ඉදිරිපත් වීම තම රටට මෙන්ම කණ්ඩායම්වලටද ගෞරවයක් බවත්ය.
කොන්ෆිඩන්ට් සමූහ ව්‍යාපාරය මීට පෙර විස්සයි20 ලෝක ශූරතාව දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටද අනුග්‍රහය දක්වා තිබිණි.
ලොව අංක එකේ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දක්වන්නට ලැබීම පිළිබඳව තමන් විස්මයට පත් වූ බවත්, තමන් ඉන්දීය ජාතිකයෙකු වූවද මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේදී ඔල්වරසන් ලබාදෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බවත් කොන්ෆිඩන්ට් සමූහයේ සභාපති රෝයි සී.ජේ. මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් අතරු කමිටු ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන, කොන්ෆිඩන්ට් සමූහ ව්‍යාපාරයේ නියෝජිතවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.