ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හඳුන්වා දුන් ක්‍රීඩක නව කොන්ත්‍රාත් සඳහා ඉදිරිපත් කළ අභියාචනා අද (19දා) ක්‍රිකට් ආයතනයේදී විමර්ශනය කිරීමට නියමිතය. ඒ අනුව අභියාචනා 08ක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් 04කට ක්‍රීඩක කොන්ත්‍රාත් ලබාදීමට නියමිතය. අභියාචනා විමර්ශනයෙන් අනතුරුව ප්‍රි‘මෝෂ් පෙරේරාට, දිනුක් හෙට්ටිආරච්චිට, කමිඳු මෙන්ඩිස්ට හා තවත් එක් ක්‍රීඩකයෙක්ට නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ලැබෙනු ඇතැයි ක්‍රිකට් මූලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ 40 හැවිරිදි දිනුක් හෙට්ටිආරච්චිව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර ඇතැයි වාර්තා වන අතර, ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කළ 35 හැවිරිදි තිලාන් තුෂාර මිරැන්ඩෝට අවස්ථාව ලබානොදී කපා හැර ඇතැයි අනාවරණය වේ.අප මේ පිළිබඳව ක්‍රීඩක කොන්ත්‍රාත් ලබාදීමේ වර්ගීකරණ කමිටුවේ සාමාජික හා ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම් රවීන් වික්‍රමරත්න මහතාගෙන් කරුණු විමසා සිටි අතර, ඔහු ඒ පිළිබඳව පවසා සිටියේ මෙවැනි අදහසකි.
“ඇත්තටම අභියාචනා 08කට වඩා ඇවිත් තිබුණා. තවම අපි අවසන් තීරණයකට ඇවිත් නැහැ. තිලාන් තුෂාරත් අපට අභියාචනා එවා තිබෙනවා. ඔහු දේශීය තරග ක්‍රීඩා කළා කියනවා. නමුත් පසුගිය අවුරුද්දෙ තුන්දින තරග ක්‍රීඩා කරලම නැහැ. ඉතින් මම ඔහුටත් කිව්වේ අභියාචනයක් දෙන්න කියලා විතරයි. අභියාචනා තාම අපි අවසන් කරලා නැහැ. තවමත් ක්‍රීඩා සමාජවලින් අභියාචනා එවනවා.
එතකොට මේ සතියේ අවසානයේ අපේ කමිටුව රැස්වෙලා තමයි අපි තීරණයක් ගන්නේ කාට කාටද අභියාචනාවලින් කොන්ත්‍රාත් ලබාදෙන්නෙ කියලා. ක්‍රීඩකයන් 04 කට අවස්ථාව ලබා දෙනවා කියන එක බොරු කතාවක්. ප්රිමෝෂ්ව ගත්තත් 2015 ලකුණු 700ක් ගහලා තියෙනවා. නමුත් මේ අවුරුද්දෙ ගහලා තියෙන්නේ ලකුණු හාරසිය ගණනක්. ඒ නිසා අපේ නිර්ණායක අනුව ඔහුව ඇතුළත් වන්නෙ නැහැ. අපි තීරණයක් ගත්තාම ඒ පිළිබඳව දැනුවත් කරනවා" යැයි පවසා සිටියේය.
එහෙත් මේ වනවිට අභියාචනාවලින් අවස්ථාව හිමිවන ක්‍රීඩකයන් පිළිබඳව විවිධ මතවාද තිබුණද මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ක්‍රිකට් ආයතනයෙන්ම සිදුවූ ප්‍රමාද දෝෂයක් නිසා බවද වාර්තා වේ. එහිදී ක්‍රීඩකයන්ගේ දත්ත ලබාදීම හා පිරික්සීමේදී ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබේ.
කෙසේ වෙතත් අභියාචනා සම්බන්ධයෙන් ක්‍රීඩක වර්ගීකරණ කමිටුවේ සාමාජික ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති කේ. මතිවානන් මහතාගෙන්ද අප විමසීමක් සිදුකළ අතර, එහිදී ඔහු සඳහන් කර සිටියේ,
“සියලු අභියාචනා අපි හෙට (අද (19දා)) සොයා බලනවා. මේ වෙද්දී අපිට අභියාචනා 08ක් පමණයි ලැබිලා තියෙන්නේ. නමුත් සමහරු අපිට දුරකථනයෙන් අභියාචනා ඉදිරිපත් කරනවා. අපි ඒවා භාරගත්තෙ නැහැ. අනිත් එක එම අභියාචනාවලිනුත් අපි ඉදිරිපත් කළ නිර්ණායක තුළ ඉන්නවා නම් පමණයි ඔවුන්ට අවස්ථාවක් හිමිවන්නේ. එහෙම නැතුව කණ්ඩායම්වලට ඇතුළුවීමට අභියාචනා කළ පමණින් අපි ඔවුන්ට අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.
අපිට අභියාචනා ඉදිරිපත් කළ ක්‍රීඩකයන් අතර නැගී එන ක්‍රීඩකයන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඇතුළත්. සමහර නැගී එන ක්‍රීඩකයන් කියනවා ලකුණු 350, 400 ගහලා තියෙනවා කියලා, මීට අවුරුදු දෙක තුනකට පෙර. නමුත් අපි අවුරුදු දෙකකට පෙර ඒවා බලන්නෙ නැහැ. අපි මේ අවුරුද්දෙ දක්ෂතා තමයි බලන්නේ. අපි ඉදිරිපත් කළ නිර්ණායක තුළ ඉන්නවා නම් පමණයි පැහැදිලිවම අපි අවස්ථාව ලබා දෙන්නේ.
එහෙම නොකළොත් සියලු දෙනාටම අපිට අවස්ථාව දෙන්න වෙයි. එම නිර්ණායක තුළ ඉන්න ක්‍රීඩකයන් අපිට ගිලිහී යන්න පුළුවන්. අන්න ඒ අයට තමයි අපි මේ අවස්ථාව ලබා දෙන්නේ. එහෙම අවස්ථාව ලබාදෙන්න පුළුවන් ක්‍රීඩකයන් දෙදෙනෙක් නැගී එන කාණ්ඩයේ ඉන්නවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කාණ්ඩයෙත් එහෙම අවස්ථාව ලබාදිය හැකි ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා" යනුවෙනි.
එහෙත් ක්‍රීඩක වර්ගීකරණ ක්‍රිකට් කමිටුව තුළම මේ පිළිබඳව මතභේද තිබීම ගැටලු සහගතය. එහි සාමාජිකයන් කවුරුන් සත්‍යද ප්‍රකාශ කරන්නේද යන්න ඉදිරියේදී අනිවාර්යයෙන් හෙළිවනු ඇත.