ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව වන ගැටලුව ඉතාමත්ම ඉක්මනින් අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා සඳහන් කරයි.
එසේම ගිවිසුම්ගත ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව අඩුකර, ගිවිසුම් අත්සන් කරන ක්‍රීඩකයන්ට උපරිම වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන තත්ත්වය හා අතුරු කමිටුවේ මසක ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ ගෙවීම් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමුකර තිබෙන බවත්, ඔවුන්ට වර්තමානයේදී දිනකට ගෙවන රුපියල් 2500, රුපියල් 7500 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය අවසරය ක්‍රිකට් කමිටුවෙන් ලබාගත හැකිවෙතැයිද සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ප්‍රාග්ධන ගෙවීම් අත්හිටුවීමට අතුරු කමිටුවේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර තිබුණත් ඛෙත්තාරාම ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයක් හා ගෘහස්ථ පැති විකට්ටුවක් ඉදිකිරීමට අතුරු කමිටුවේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා මුල්ගල් තැබීම ජූනි මසදී සිදුකිරීමට නියමිතය.
එසේම 2016 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියත්, 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියත් අරමුණු කරගනිමින් ක්‍රිකට් තේරීම් වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් අතුරු කමිටුවේ අවධානය යොමුව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට වැඩි වශයෙන්ම අවධානය යොමුවෙයි.
අතුරු කමිටුව විසින් ක්‍රිකට් කමිටුවක් පත්කර තිබෙන අතර, එම කමිටුව සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා, ග්රැහැම් ලැබෝරි, කපිල විජේගුණවර්ධන, මහේල ජයවර්ධන හා දුෂාන් සොයිසා යන අයගෙන් සමන්විත වෙයි. එසේම ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනය කිරීමටද අතුරු කමිටුවේ අවධානය යොමුව තිබේ.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අතුරු කමිටු සාමාජිකයන්, තේරීම් කමිටු සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්වූහ.