දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් දොළොස් වසරක් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ අසහාය පිතිකරු ග්රැහැම් ස්මිත්ට අමිහිරි සමුගැනීමක් මතකයේ රඳවාගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සිදුවිය.
ඒ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 245 ක පරාජයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි වූ හෙයිනි. කේප්ටවුන්හිදී ඊයේ (05දා) නිමා වූ තෙවැනි ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයගැනීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ලෙස ජය ඔස්ට්‍රේලියාව ජයගත්තේය.
අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වූ දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතර කැපී පෙනෙන ඉනිමක් ගොඩනැගූ ඒ.බී. ඩිවිලියර්ස්, පැය 5 යි මිනිත්තු 26 ක කාලයක් ගතකරමින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 228කට මුහුණදුන්නේය.
ඉනිමේ මුළු ලකුණු 246 දී ජේ.පී. දුමිනි 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියත්, සෙසු කඩුලු දෙක දවාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට විනාඩි 77 ක කාලයක් බලා සිටීමට සිදුවිය.
ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය පමා කළ ස්ටෙයින් නවවැනි කඩුල්ල ලෙස පිටියට එක්ව මිනිත්තු 75 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් වර්නන් පිලෙන්ඩර් සමගින් පන්දුවාර 15 ක් ක්‍රීඩා කරමින් ලකුණු 19 ක සබඳතාවක් ගොඩනැගුවේය.
ගෞරවය රැකගැනීමේ සටන දකුණු අප්‍රිකාවෙන් අවසන් පන්දුවාර කිහිපයේදී ගිලිහී ගියේය. පස්වැනි දිනය වූ ඊයේ (5දා) දිනය නිමාවීමට පන්දුවාර 4.3 ක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකානු ඉනිම අවසන් විය. තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝර්නර් සම්මාන හිමි කරගත්තේය.
දොළොස් වසරකට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව 2002 දී ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ග්රැහැම් ස්මිත්, තම ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදීම ඊයේ ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 494/10 (පන්දුවාර 127.4)
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 287/10 (පන්දුවාර 82.5)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 303/5 (පන්දුවාර 58)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 265/10 (පන්දුවාර 134.3)
ඡායාරූප AFP