ශ්‍රී ලංකාව, බ. ඉ. කොදෙව් සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තෙවැනි තරගය අද (21දා) බුලවායෝහිදී පැවැත්වේ. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය. පසුගිය සෙනසුරාදා (19දා) පැවැති තරගය ලකුණු සමවීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු දෙකක් හිමිකර ගෙන සිටියි. ඒ හේතුව නිසා මෙන්ම 23 වැනිදා බ. ඉ. කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට විශ්වාසයකින් යුතුව ප්රවිෂ්ටවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයගැනීම අනිවාර්යය.
මෑතකාලීනව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාපේක්ෂව පිතිකරැවන්ගේ දක්ෂතා පහළ ගොස් ඇති හෙයින් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයන්ට බාධාවකි. පසුගියදා බ.ඉ.කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේ පරාජයට ප්‍රධානම හේතුව වූයේද ශ්‍රී ලංකා පිතිකරැවන් ලකුණු අතරට නොපැමිණීමය. එහෙයින් අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිතිකරැවන් ලකුණු අතරට පැමිණිය යුතුය. එසේ වුවහොත් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකිය. විශේෂයෙන්ම කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග ලකුණු අතරට පැමිණීම වඩා වැදගත් බව අපගේ විශ්වාසයයි.
ආරම්භක පිතිකරැවෙකු ලෙසින් තවමත් ස්ථාවර නොවූ කුසල් ජනිත් පෙරේරා මේ අවස්ථාව වනවිට පසුවන්නේ තීරණාත්මක මොහොතකය. ඉන් ගැලවීමට නම් කුසල් ජනිත් අනිවාර්යයෙන්ම ලකුණු අතරට පැමිණිය යුතුය. මේ ඒ සඳහා ලැබෙන හොඳම අවස්ථාවකි. කුසල් ජනිත් එක් තරගයක් පමණක් සාර්ථක වීම සෑහීමට පත්විය නොහැකි තත්ත්වයක් බැවින් අද තරගයේ පටන් ඔහු දිගින් දිගටම ලකුණු අතර රැඳී සිටීමට උත්සාහ කළ යුතුව ඇත.
තවද කුසල් මෙන්ඩිස්ද අපේක්ෂා කළ අයුරින් දක්ෂතා නොදැක්වීම පාඩුවකි. මෙම තරගාවලියට පෙර ඔහු ක්‍රීඩා කළ අංක තුන ස්ථානය නොමැතිවීම ඊට හේතුවක් විය හැකිය. එහෙත් කුසල් මෙන්ඩිස්ටද ලකුණු අතරට ප්‍රවිෂ්ට වීම හැර වෙනත් විකල්පයක් නැත. කුසල් මෙන්ඩිස් තරැණ ක්‍රීඩකයෙකු බැවින් දුර්වල කණ්ඩායම් හමුවේ සැහැල්ලුවෙන් ක්‍රීඩා කරනවා විය හැකිය. එය ඔහුගේ සාර්ථකත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑමට බාධාවකි. ඒ ගැන කුසල් මෙන්ඩිස් දැනුවත් කිරීම කණ්ඩායමේ වගකීමකි.
එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරැවෙකු ලෙස ඉදිරිපත් කළ දක්ෂතා එක්දින තරගාවලියේදී ඉදිරිපත් නොකිරීම ඔහුට මෙන්ම කණ්ඩායමටද හිතකර තත්ත්වයක් නොවේ. උපුල් තරංග නායකයෙකු ලෙස අන්තර් සමාජ, වෙළෙඳ සේවා පමණක් නොව ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම්ද මෙහෙයවා ඇති බැවින් ඔහුට නායකත්වය අමතර පීඩනයක් විය නොහැකිය. එහෙයින් උපුල් තරංග පිතිකරැවෙකු ලෙස පසුගිය තරග දෙකට වඩා වැඩි දක්ෂතාවක් ඉදිරිපත් කිරීමට උත්සුක විය යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් තරග දෙකේදීම කණ්ඩායම් සංයුතියේ අසමබරතාවක් දැකගත හැකිවිණි. අද පැවැත්වෙන තරගයේදී ඒ සඳහා විසඳුමක් සොයාගත යුතුය. විශේෂයෙන්ම නිත්‍ය දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමේ නොසිටීම ගැටලුවකි. තරගාවලිය ආරම්භයේදීම අප සඳහන් කර සිටියේ ලක්ෂාන් සඳකැන් සහ ජෙෆ්රි වැන්ඩසේ යන ක්‍රීඩකයන් දෙදෙනා අතරින් කෙනෙකු කණ්ඩායමේ සිටිය යුතු බවයි. එහෙත් තේරීම් කමිටුවේ මෙන්ම නායක උපුල් තරංගගේ අවධානයද ඔවුන් දෙදෙනා කෙරෙහි යොමු නොවීම ගැටලුවකි.
අද තරගයේදීවත් ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු කණ්ඩායමට කැඳවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එසේ නොවන්නට සිම්බාබ්වේ හමුවේ ජයගත්තද බ.ඉ.කොදෙව් කණ්ඩායම හමුවේ මීළඟට පැවැත්වීමට නියමිත තරගය අපහසු විය හැකිය.ඕනෑම තැනක කණ්ඩායම සමබර විය යුතුය. එසේ නොවන්නට ඉන් ලැබෙන ප්‍රතිඵලය අපේක්ෂිත ප්‍රතිඵලය නොවිය හැකිය. එහෙයින් අද තරගයේදීවත් නිවැරදි කණ්ඩායම තෝරාගන්නේදැයි අපි බලා සිටිමු.
තරගය අද (21දා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.00ට ආරම්භ වීමට නියමිතය.