සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී) ක්‍රීඩාංගණයේ ඊයේ (27දා) පැවති එකම විස්සයි20 තරගයෙන්ද කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
මෙම ජයග්‍රහණය විස්සයි20 කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පන්දු පරතරයකින් (71) ලැබූ පළමු ජයග්‍රහණය ලෙස ලෝක ක්‍රිකට් වාර්තා අතරට එක්විය. මීට පෙර වාර්තා ලෙස දැක්වුණේ නවසීලන්ත කාන්තා කණ්ඩායම, පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දු 70ක පරතරයකින් ලබා තිබූ ජයග්‍රහණයයි.
මෙම ජයග්‍රහණයත් සමග විස්සයි20 ශූරතාවටද හිමිකම් කීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර, ඔවුන් මීට පෙර මෙම සංචාරයේ එක්දින තරගාවලියද තරග 4-0ක් ලෙස පූර්ණ ජයක් ලබමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 'වයිට්වොෂ්' කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් එල්ල වූ ලකුණු 60ක ඉලක්කය පන්දුවාර 8.1කදී කිසිවෙකුත් නොදැවී සපුරාගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත්වූහ. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, එහිදී පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස්කගත හැකි වූයේ ලකුණු 59ක් පමණි.
ආරම්භක පිතිකාරිණී ලසන්ති මධුශානි ලබාගත් ලකුණු 17 හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉලක්කම් දෙකක ලකුණු සංඛ්‍යාවකින් ඔසවා තැබීමට නොහැකි විය. ශ්‍රී ලංකා ඉනිම වැනසූ ඔස්ට්‍රේලියානු පා දඟපන්දු යවන්නිය වන ක්‍රිස්ටන් බීම්ස් පන්දුවාර 04ක් තුළ ලකුණු 11කට කඩුලු 03ක් දවාගත්තාය.
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වූ බෙත් මූනි හා එලිස් විලානි පන්දුවාර 8.1 කදී ලකුණු 63ක් ලබමින් ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවට ලබාදුන්හ. මෙහිදී ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නියන් 06 දෙනෙකු යොදාගැනීම සුවිශේෂීය. ක්‍රිස්ටන් බීම්ස් තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හෂිනි පෙරේරා විසින්ද, ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඇලෙක්ස් බ්ලැක්වෙල් විසින්ද මෙහෙයවන ලදී.
ඡායාරූප - ශාන්ත රත්නායක