25 හැවිරිදි ශ්‍රී ලංකා ජාතික යුකේන්තිරන් සින්නවයිරන් මීට වසර 04 කට පෙර ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් යාත්‍රා කරනුයේ ශ්‍රී ලංකාව තුළ ඔහුට ජීවත්වීමේ පසුබිමක් ගොඩ නැගී නොතිබූ හෙයිනි. ඔහුගේ පවුලේ සාමාජිකයෝ හා විවාහ ගිවිසගත් කාන්තාවද අදටත් වයඹ පළාතේ හලාවත නගරය අයත් උඩප්පුව නම් ධීවර ගම්මානයේ වාසය කරති.
ක්‍රිකට් ක්‍රීඩාවට දැඩිලෙස ඇලුම් කළ යුකේන්තිරන්, සරණාගතයෙකු වශයෙන් ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වන අතරතුරේදීද ක්‍රිකට් ක්‍රීඩා කළේය. ආරම්භක පිතිකුරුවෙකු ලෙස කටයුතු කරන යුකේන්තිරන් පසුගියදා පැවැති ක්‍රිකට් තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර ඒ අනුව ඔහු එැවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ශ්‍රී ලංකික සරණාගත ක්‍රීඩකයා වශයෙන්ද ඉතිහාසයට එක්විය.
ඔස්ට්‍රේලියාවේ 'ඩී' කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට යටතේ මෙම තරගය පසුගිය 10 දා පැවැතියේය. ට්‍රේසි විලේජ් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ඩාර්වින් කණ්ඩායම අතර පැවැති පන්දුවාර 40 තරගයකදී ට්‍රේසි විලේජ් කණ්ඩායම නියෝජනය කරමින් යුකේන්තිරන් ලකුණු 227 ක් ලබා ගත් අතර, ඊට හයේ පහර 18 ක් හා හතරේ පහර 14 ක් අන්තර්ගතය.
තුන් ඉරියව් ක්‍රීඩකයකු වන යුකේන්තිරන්, ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු 19 න් පහළ කණ්ඩායම 2008, 2009 වසරවලදී නියෝජනය කර ඇති අතර 2010 දී අවුරුදු 22 න් පහළ කණ්ඩායමද නියෝජනය කර තිබේ."ක්‍රිකට් මගේ ජීවිතය. මම මගේ ජීවිතයේ සියලු දේ ක්‍රිකට් වෙනුවෙන් කැප කළා. මට ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන්න ලැබීම විශිෂ්ට අත්දැකීමක්" යැයි යුකේන්තිරන් පවසා ඇත.
ඔස්ට්‍රේලියානු එන්ටී නිව්ස් ඇසුරෙනි