කණ්ඩායමක් වශයෙන් සෑම තරගයකම ජයග්‍රහණය වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වුවද පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීමේ අංශ තුනෙන් එක් අංශයක දක්වන අඩු දක්ෂතාව මෙම තරගයේ පරාජයටද ප්‍රධාන වශයෙන් හේතුවූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (30දා) අලුයම අවසන් වූ සිවුවැනි එක්දින තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තීරණාත්මක සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර, එම ජයග්‍රහණයත් සමගින් තරග 05කින් යුත් එක්දින තරගාවලියේ ජය තරගයක් ඉතිරිව තිබියදීම හිමි කරගැනීමට එංගලන්තයට හැකිවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් පැවසුවේ, පිතිකරුවන් ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව ඉටුකළද, තරගය පරාජයට පත්වීම පිළිබඳව දැඩිලෙස කනගාටුවට පත්වන බවයි.
මෙම තරගයේ වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 42 කට සීමාවූ අතර, එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 42 අවසනදී කඩුලු 05ක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත් විය.
"මම හිතන්නෙ අපි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත්. නමුත් අංශ තුනෙන් (පන්දුවට පහරදීම, පන්දු යැවීමෙ හා පන්දු රැකීම) එක් අංශයක් සෑම තරගයකදීම දුර්වල වීම කනගාටුවට කාරණයක්. මෙම තරගයේදීත් පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වෙ නැහැ" මැතිව්ස් පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේ, තරගයේ වීරයා ලෙස සම්මානය හිමි කරගත් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බවයි.
"ඔහු (ජේසන්) දවා ගන්න අපි උත්සාහ කළා. නමුත් තණතිල්ල පිතිකරුවන්ට වඩාත් යෝග්‍යයි. ඔහු කල්වේලා අරගෙන හොඳින් පන්දුවට පහර දුන්නා".
ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කළ ජේසන් රෝයි, සිය එක්දින දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු පන්දු 118කදී වේගවත් ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අගනා සහයක් ලබා දුන් ජෝ රූට් ලකුණු 65ක් එංගලන්ත ඉනිමට එක් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්, එංගලන්ත පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වූ අතර යම් තරමකින් හෝ සාර්ථක වීමට සමත් වූ නුවන් ප්‍රදීප් පන්දුවාර 09කදී ලකුණු 78කට කඩුලු 02ක් දවාළීය. ඊට අමතරව ධනුෂ්ක ගුණතිලක පන්දුවාර 05කදී ලකුණු 30කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
කෙසේ නමුත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් මෙන්ඩිස් පිළිබඳවද අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, කුසල් ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතය වෙනුවෙන් හොඳ තෝරාගැනීමක් බවයි.
කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ලකුණු 77ක් රැස් කළ අතර, ඔහු ධනුෂ්ක ගුණතිලක හා එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සබඳතාවක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය.
"ඔහු (කුසල්) දවසින් දවස දක්ෂතා අතින් වර්ධනය වෙනවා. මෙම තරගය පුරාම ඔහු හොඳින් පිතිකරණයේ යෙදුණා. අපේ අනාගතය වෙනුවෙන් ඔහු සුභ ලකුණක් වෙයි" කුසල් අගයමින් මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.