සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර එඩ්බැජ්සන්හි පැවැති තීරණාත්මක හා සිවුවැනි එක්දින තරගයෙනුත් සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්විය. මෙම තරග පරාජය එංගලන්ත කණ්ඩායමක් එංගලන්තයේදී වසර 28කට පසුව ලැබූ දරුණුතම පරාජය ලෙස වාර්තා අතරට එක්විය.
ඒ අනුව තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිය තිබියදී එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්විණි.
එංගලන්ත කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30.3 කදී එක් කඩුල්ලක් පමණක් වැයකර එම ඉලක්කය පහසුවෙන් පසුකර යාමට සමත් විය. සුපිරි පිතිහරඹයක නියැළුණු අජින්ක්යා රහානේ ලකුණු 106 ක් ලබාගත්තේ පන්දු 100 ක් පමණක් වැයකරමිනි. එය රහානේගේ මංගල ශතකයද විය.
රහානේට අමතරව ප්රවේගවත් පිතිහරඹයක නියැළුණු ශිකර් දවාන් ලකුණු 97 ක් රැස් කළේ පන්දු 87 කදීය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 183 ක වාර්තා ගත සබඳතාවක් පැවැත්වීම විශේෂත්වයකි.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 49.3 ක් තුළ දැවී ගියේය. එංගලන්තය වෙනුවෙන් මොයින් අලි පන්දු 50ක් තුළ ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය. ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමට නිරත වූ මොහොමඩ් සාමි කඩුලු 3ක් දවාළීය.
මෙම තරගයේදී වේගපන්දු යවන ඔවාල් කුල්කරනි ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් අතර, තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේ අජින්ක්යා රහානේය.
එංගලන්තය 206/10 (පන්දුවාර 49.3)
මොයින් අලි 67 (පන්දු 50, 4x4, 6x3)
ජෝ රූට් 44 (පන්දු 81, 4x2)
මොහොමඩ් සාමි 3/28 (පන්දුවාර 7.5)
බුවනේෂ්වර් කුමාර් 2/14 (පන්දුවාර 08)
ඉන්දියාව 212/1 (පන්දුවාර 30.3)
අජින්ක්යා රහානේ 106 (පන්දු 100, 4x10, 6x4)
ෂිකර් දවාන් 97* (පන්දු 81, 4x11, 6x4)
හැරී ගර්නි 1/51 (පන්දුවාර 6.3)