සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කර අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) අවසන් වූ සිවුවැනි තරගයෙන් ඉනිමකින් හා ලකුණු 78 ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් යුත් මෙම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස පෙරමුණගැනීමට ඔවුන්ට හැකිවිය. දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ එංගලන්තය ලැබූ 31 වැනි තරගාවලි ජයග්‍රහණය මෙය වේ.
පසුගිය බ්‍රහස්පතින්දා (06දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 60 ක් පමණි. එයට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 391/9 ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
ඒ අනුව තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 331 පසුපසින් නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එවරද සියලු දෙනාම දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 253 ක් පමණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ඉනිමක හා ලකුණු 78ක ජයක් හිමිවිය.
පළමු ඉනිමේ සුපිරි පන්දු යැවීමක නිරත වූ එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන අගෝස්තු 20 වැනිදා ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 60/10 (පන්දුවාර 18.3)
මිචෙල් ජොන්සන් 13 (පන්දු 25,4x2), මයිකල් ක්ලාක් 10 (පන්දු 15,4x2), නේදන් ලයන් 09 (පන්දු 25,4x2), ස්ටුවර්ට් බ්‍රෝඩ් 8/15 (පන්දුවාර 9.3), ස්ටීවන් ෆින් 1/13 (පන්දුවාර 3)
එංගලන්තය පළමු ඉනිම 391/9 (පන්දුවාර 85.2)
ජෝ රූට් 130 (පන්දු 176,4x19,6x1), ජොනී බෙයාර්ස්ටෝ 74 (පන්දු 105,4x12), ඇලෙස්ටෙයාර් කුක් 43 (පන්දු 87,4x7), මිචෙල් ස්ටාක් 6/111 (පන්දුවාර 27), ජොස් හේස්ල්වුඩ් 2/97 (පන්දුවාර 24)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 253/10 (පන්දුවාර 72.4)
ඩේවිඩ් වෝනර් 64 (පන්දු 74,4x9, 6x2), ක්‍රිස් රොජර්ස් 52 (පන්දු 83, 4x10), ඇඩම් වොජස් 51 (පන්දු 118, 4x7), බෙන් ස්ටෝක්ස් 6/36 (පන්දුවාර 21), මාක් වුඩ් 3/69 (පන්දුවාර 17.4)
තරගයේ විශේෂතා
මෙම තරගාවලි ජයග්‍රහණයත් සමඟ එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් අළුබඳුන වැඩිම ප්‍රමාණයකට ජයග්‍රහණය ලබාදුන් එංගලන්ත නායකයන් අතර සම තෙවැනි ස්ථානයට පැමිණියේය. මයික් බෙයාලි (11), ඩබ්.ජී.ග්‍රීස් (8) හා පර්සි චැප්මාන් මෙහි ඉදිරියෙන් සිටිති.
එංගලන්තයේ ඉයන් බෙල් ජයග්‍රාහී අළු බඳුන තරගාවලි පහක සාමාජිකයෙකු වේ. මේ සමගම ඔහු 1950 වර්ෂයෙන් පසු වැඩිම ජයග්‍රාහී තරග සංඛ්‍යාවක සාමාජිකයෙකු වී ඇති ඉයන් බොතම්ගේ වාර්තාම සම කිරීමට හැකිවිය.
එංගලන්ත ක්‍රීඩක ස්ටුවර් බ්‍රොඩ් අළු බඳුන තරගාවලියන්හි තරගයේ වීරයා වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, එය අළු බඳුන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳම වාර්තාවයි. ඉයන් බොතම් (වාර 5) මෙහි පෙරමුණේ පසුවේ.
ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක් නායකත්වය ලබාදී පරාජය වූ 07 වැනි අළු බදුන තරගය මෙය වේ. එය ඔස්ට්‍රේලියානු නායකයෙකු අළු බදුන තරගාවලියන්හි පරාජයට පත් වූ වැඩිම තරග සංඛ්‍යාවයි.