ශ්‍රී ලංකාව, බ.ඉ.කොදෙව් කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහභාගිවන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද (14දා) හරාරේහිදී පැවැත්වේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතරයි. බැලූ බැල්මටම තුන්කොන් එක්දින තරගාවලියේ කණ්ඩායම් තුනම එකම මට්ටමේ හිඳිමින් තරගාවලියට පිවිස ඇති ආකාරයක් දැකගත හැකිය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ජයග්‍රහණයත් සමග යම් ප්‍රමාණයකට විශ්වාසය වැඩි කරගනිමින් ඉදිරියට පැමිණ ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් ඔවුනට ගැටලුවකට ඇත්තේ ඇත්දැකීම් ඇති ප්‍රවීණ ක්‍රීඩකයන් කණ්ඩායමේ නොසිටීමයි.
නමුත් කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේදී යමක් සිදුනොකරාවි යැයි අපේක්ෂා කිරීම අනුවණකමකි. ටෙස්ට් තරග රටාවට සාපේක්ෂව සිම්බාබ්වේ කණ්ඩායම එක්දින පිටියේදී වැඩි වශයෙන් දක්ෂතා දක්වන කණ්ඩායමකි. පසුගිය එක්දින තරගාවලි කිහිපයේදීම ඔවුන් ටෙස්ට් තරගවලට සාපේක්ෂව එක්දින තරග බිමේදී දක්ෂතා ඉදිරිපත් කිරීමට සමත් විය. එය ඔවුන්ට ධන ලකුණකි. තුන්කොන් තරගාවලිය ජයගනිමින් ජාත්‍යන්තරව තව තවත් තම කීර්තිනාමය ඉහළ නංවා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන සිම්බාබ්වේ කණ්ඩායමට මෙම තුන්කොන් තරගාවලිය කදිම අවස්ථාවකි.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දෙස අවධානය යොමු කරන්නේ නම් ඔවුන්ට අඩුවකට ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නොසිටීමයි. එසේ නොමැතිව නායක උපුල් තරංගට දෙවැනි පෙළ කණ්ඩායමක් ලැබී නොමැත. එහෙයින් අත්දැකීම් අඩු වුවද තරුණ ක්‍රීඩකයන් සමගින් තරගාවලියේ ඉදිරියට ගමන් කිරීමට උපුල් තරංගට සිදුවේ.
විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ටද පීඩනයක් එල්ල කිරීමට උපුල් තරංග සිය උපරිමයෙන් කණ්ඩායම මෙහෙයවා, ආක්‍රමණශිලීව කටයුතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ යුතුය. එසේ කරන්නට හැකිවුවහොත් තේරීම් කමිටුව උපුල් තරංග කෙරෙහි තැබූ විශ්වාසයට සාධාරණයක් ඉෂ්ට කළ හැකිය. එහෙයින් තරගාවලිය ආරම්භයේ සිටම ජයග්‍රාහී මාවතට පිවිසීමට උපුල් තරංග ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අධිෂ්ඨාන කරගත යුතුය.
උපුල් තරංග ආරම්භක පිතිකරුවෙකු බැවින් ඔහු ආරම්භක පිතිකරුගේ ස්ථානයේ ක්‍රීඩා කරන්නේද නැතිනම් ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානයේ ක්‍රීඩා කරන්නේද යන්න ගැන යම් කතිකාවක යෙදෙනවාට සැකයක් නැත. උපුල් තරංග කුමන ස්ථානයේ ක්‍රීඩා කළද කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩි කරමින් කටයුතු කළ යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.
නායකයෙකු වශයෙන් එය ඔහුගේ වගකීමක්ද වේ. සෙසු ක්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩි කරමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් කණ්ඩායම මෙහෙයවීමට උපුල්ට හැකිවුවහොත් ජයග්‍රහණ ගැන බලාපොරොත්තු තබාගත හැකිය. එය කරන්නට උපුල් සතුව ඇතිතරම් අත්දැකීම් සතු බව අපගේ විශ්වාසයයි.
තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් දක්ෂ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බිහිකර ගැනීමට උපුල්ට හැකිවුවහොත් උපුල් ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙකු ලෙස සිය වගකීම මැනවින් ඉටුකළේ යැයි පැවසීමට හැකිය.
සිය පෞද්ගලික දක්ෂතා ගැන පමණක් අවධානය යොමු කරමින් තම හිතවත් ක්‍රීඩකයන් හැරෙන්නට හොඳ පන්දු යවන්නන් බිහි කිරීමට උත්සාහ නොකරන තත්ත්වයක් තුළ නව නායකයෙකු ලෙස උපුල්ට ඒ සඳහා පැවරෙන වගකීමද ඉහළය.කුසල් ජනිත් පෙරේරා, ධනංජය සිල්වා, කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග නිත්‍ය පිතිකරුවන් ලෙස අද තරගයට ක්‍රීඩා කරනු ඇත. සෙසු පිතිකරණ ස්ථාන වෙනුවෙන් කණ්ඩායම තුළ තරගයක් නිර්මාණය වී ඇති ආකාරයක් දැකගත හැකිය. එය සිදුවිය යුත්තකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත්ව සිටීම නායක උපුල්ට එය විශාල ශක්තියකි. එහෙයින් නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සහ නිත්‍ය දඟපන්දු යවන්නෙකු කණ්ඩායමේ ස්ථානයක් වෙන්කරගනු ඇතැයි විශ්වාස කළ හැකිය. සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වීමට වැඩි අවස්ථාවක් පවතී. කෙසේ වෙතත් කණ්ඩායමට අත්දැකීම් අඩු බැවින් මෙන්ම නුවන් කුලසේකර කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින්ද ඔහු කෙරෙහිද අවධානයෙන් සිටිය යුතුය. නිත්‍ය දඟපන්දු යවන්නා ලක්ෂාන් සඳකැන්ද එසේ නොමැතිනම් ජෙෆ්රි වැන්ඩසේද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකිය. බොහෝ දුරට ලක්ෂාන් සඳකැන්ට ඒ සඳහා අවස්ථාවක් හිමිවනු ඇත.