යුද්ධයේ අඳුරු සෙවනැලි කලක් ඔවුන්ගේ ජීවිත වසා පැතිර ගියේ දිවි ගලවාගැනීම පමණක් ජීවිතයේ එකම බලාපොරොත්තුව බවට උරුම කරදෙමිනි. අනාගතයක් පිළිබඳ සිහින මැවීම තබා වර්තමානයද අතීතයද අහිමි කරමින් සැඟවී සිටි ඔවුන්ට යළි නැගී සිටීමට දශක තුනකට අධික කාලයක් ගත විය.
අප මෙලෙසින් ප්‍රස්තුතයක් ගෙන හැර පෑවේ කලක් දැඩි ලෙස පීඩා විඳිමින් හුන් උතුරේ අපේම ජනතාවක් පිළිබඳවයි. තිස් වසරක් ඇදීගිය යුද්ධය ඔවුන්ගේ සියලු දේ අහිමි කරද්දී, අධ්‍යාපනයක් හෝ ක්‍රීඩාවක් පිළිබඳ බලාපොරොත්තු තැබීම ඔවුන්ට කිසි ලෙසකින් සිදුකළ නොහැකි විය. කෙසේ වෙතත් යුද්ධයේ අවසානයත් සමගින් නැවතත් නැගී සිටීමට ඔවුන් මේ වනවිට සමත්ව ඇති අතර, එය අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද එක හා සමානව මේ වනවිට සිදුවෙමින් පවතී. අද අප ගෙන එන්නේ බොක්සිං ක්‍රීඩාවේ දක්ෂයන් සොයා යාපනය පේදුරුතුඩුව ප්‍ර‘දේශයේ කළ සංචාරයක තොරතුරුය.
කොළඹින් කි.මී.400 කට එපිටින් පිහිටි යාපනය පේදුරුතුඩුව යුද්ධයෙන් බැට කෑම ආරම්භ වන්නේ මීට දශක තුනකට පමණ පෙර සිටය. ඉන් අනතුරුව 1995 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ ග්රහණයෙන් නිදහස් වූවද 2009 වර්ෂය දක්වාම උතුරුකරයේ යුද්ධය හේතුවෙන් තිබූ ගමනාගමන පහසුකම්වල අවම මට්ටම නිසා ක්‍රීඩා ව්‍යාප්තියට අවශ්‍ය තරම් සම්පත් නොවීය.
යාපනය පේදුරුතුඩුව ප්‍ර‘දේශයේ වත්මන් ප්‍රධාන බොක්සිං පුහුණුකරුවා ලෙස සුරංග මුදන්නායක මහතා ක්‍රියා කරන අතර, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙසින් කටයුතු කරන්නේ නලින් තාජුඩීන් මහතාය. ඔවුන්ගේ මගපෙන්වීම යටතේ සෙසු ක්‍රීඩා මෙන්ම බොක්සිං ක්‍රීඩාවද මේ වනවිට ප්‍රදේශය තුළ ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වෙමින් තිබේ. ඊට අමතරව රජය මෙන්ම විවිධ පෞද්ගලික සමාගම්ද උතුරුකරයෙන් මානව සම්පත් සොයාබැලීම ආරම්භ කළ අතර, මාස් (එම්.ඒ.එස්) සමාගම එයින් ප්‍රධාන ආයතනයක් වේ. ඔවුන්ගේ මැදිහත්වීම මත මේ වනවිට බොක්සිං ක්‍රීඩාවේ සුවිශේෂ දක්ෂතා දැක්වීමට යාපනය දිස්ත්‍රික් ක්‍රීඩකයෝ සමත්ව සිටිති.
මෙම ප්‍රදේශයෙන් බොක්සිං ක්‍රීඩාවට පිවිස සිටින බොහෝ දෙනෙකු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවෝය. නමුත් ක්‍රීඩාවට දක්ෂ එම දරුවන්ගේ වියදම් ද මාස් ආයතනය මගින් මෙහිදී දැරීම සතුටට කරුණකි. එය බොක්සිං ක්‍රීඩාවේ උන්නතියට බෙහෙවින් බලපායි.
මෙවර ජාතික කනිෂ්ඨ ශූරතා බොක්සිං තරගාවලියේ රිදී පදක්කම දිනාගත් යාපනය උරුම්පිරායි සයිවා දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි කුමාරන් දිලක්ෂන් අප පළමුවෙන් සාකච්ඡාවට එක්කර ගත්තේය.
“මම බොක්සිංවලට ආසාවෙන් හිටියත් අපට අවස්ථාවක් ලැබුණෙ නෑ. නමුත් දැන් අපිට ලැබිලා තියෙන අවස්ථා පිළිබඳ සතුටු වෙනවා. විශේෂයෙන් අපේ දෙමවුපියන්ට ක්‍රීඩා සඳහා මුදල් වියදම් කරන්න වත්කමක් නෑ. මාස් ආයතනය තමයි අපට ක්‍රීඩාව සඳහා බොහෝ උපකාර කරන්නේ. අපේ ගමේ තිරුමාන් සර් එම ක්‍රීඩාවට අපිට ගොඩක් උදව් කරනවා" දිලක්ෂන්ට අමතරව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇන්ටන් රංජිත් මෙවර (2015) ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ ක්‍රි.ග්රෑ 71 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
මීට අමතරව උතුරු පළාතේ බොක්සිං ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වන විද්‍යාලයක් වූ පේදුරුතුඩුව හාට්ලි විදුහලේ බොක්සිං ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සොයා ගියෙමු.
කි.ග්රෑ 52-54 බර පංතියේ ක්‍රීඩා කළ පුෂ්පරාජ් විෂ්ණු මෙවර (2015) එල්.වී. ජයවීර අනුස්මරණ ශූරතාවලිය, ජාතික ශූරතාවලියේ හා ස්ටබ්ස් ශීල්ඩ් යන තරගාවලි ත්‍රිත්වයේදීම ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්ව ඇත. එමෙන්ම මෙහිදී අප හමුවූ එස්. ජීවන්ත් මෙවර එල්.වී. ජයවීර අනුස්මරණ බොක්සිං තරගාවලියේදී කි.ග්රෑ 49-52 ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගෙන ඇත. ජාතික කනිෂ්ඨ ශූරතාවලිය කි.ග්රෑ 80ට වැඩි බර පංතිය නියෝජනය කළ එස්. කිරදරන් එම ඉසව්වෛන් රන් පදක්කම හිමි කරගෙන ඇත.
මේ අතර බොක්සිං ක්‍රීඩාවෙන් දස්කම් දක්වන පාසල් නොවන වැඩිහිටි ක්‍රීඩකයෙකුද අපට හමුවිය. 29 හැවිරිදි වියේ පසුවන හෙතෙම ආර්. රමේෂ්ය. ඔහු මෙවර (2015) මාස් ආයතනය මගින් සංවිධානය කරන ලද ශූරතාවලියේ කි.ග්රෑ 75 ඉසව්වෙන් රන් පදක්කම දිනා ඇත. එමෙන්ම ජාතික මහා ක්‍රීඩා උලෙළේදීද යාපනය දිස්ත්‍රික් ලෝකඩ පදක්කම් කිහිපයක් ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇත. හෙතෙම මේ වනවිටදී යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරයි.
“පොඩිකාලෙ ඉඳලා මට බොක්සිං ක්‍රීඩාවට විශාල ආසාවක් තිබුණා. විශේෂයෙන් ජාතික සහ ජාත්‍යන්තර තලයේ බොක්සිං ක්‍රීඩකයන්ගේ දස්කම් බලලා මටත් ඒ වගේ ක්‍රීඩකයන් වෙන්න කැමැත්තක් තිබුණා. නමුත් බොක්සිං තිබුණේ නැති නිසා මම මුලින්ම යොමුවුණෙ කරාතේ ක්‍රීඩාවට. මම ෂෝටෝකාන් ඉසව්වෙන් කළුපටි දක්වාම ගමන් කළා. රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවනම් අපිට මේ පළාතේ ක්‍රීඩාව තවදුරටත් දියුණු කරන්න පුළුවන්" රමේෂ් පවසයි.
යාපනයේ ක්‍රීඩකයන් ක්‍රීඩාවට දක්ෂයි හා ශක්තිමත්
යාපනය බොක්සිං සම්බන්ධීකාරක නලින් තාජුඩීන්
"මේ පළාතෙ බොක්සිං ක්‍රීඩාව සඳහා ඉන්න බොහෝ පිරිසක් දුප්පත් ළමයි. සමහරුන්ගෙ දෙමව්පියන් නිසි අධ්‍යාපනයක් ලැබුවෙ නැති අය. එනිසා ළමයිනුත් නිසි අධ්‍යාපනයක් නොලැබීමේ අවදානමක් තිබෙනවා. නමුත් බොක්සිං නිසා අද ඔවුන්ට ඉදිරියට එන්න හැකියාවක් ලැබිලා තිබෙනවා. යාපනයේ සිටින ක්‍රීඩකයෝ ක්‍රීඩාවට දක්ෂයි. ඒ වගේම ශක්තිමත්. එනිසා ඔවුන්ට මේ ක්‍රීඩාවෙන් ගොඩක් දුර යන්න පුළුවන්".
ඉන් අනතුරුව අප හා කතාබහට එක්වූයේ මෙම ප්‍ර‘දේශයේ බොක්සිං ක්‍රීඩාවේ ප්‍රධාන බරපැන දරන මාස් (විදියාල්) ආයතනයේ නිලධාරීහු කිහිප දෙනෙකි.
ඉන් එක් අෙයකු වන නිලේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, “අප ආයතනය මගින් බොක්සිං ක්‍රීඩාවට අනුග්‍රහයක් දක්වන්න ප්‍රධාන වුණේ මාස් ආයතනයේ මූල්‍ය අධ්යක්ෂ රුවන් කෑරගල හා මාස් ඉන්ටිමේට්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ඩයන් ගෝමස් අප පළමුවෙන්ම බොක්සිං ක්‍රීඩාව උතුරු පළාතෙන් ආරම්භ කළේ බොක්සිං වැඩමුළුවක් තියලා. ඉන් අනතුරුව පේදුරුතුඩුව හාට්ලි, කිලිනොච්චි ම.ම.වි හා මුලතිව් ම.ම.වි යන විද්‍යාලවල බොක්සිං‘ ආරම්භ කළා. ක්‍රීඩාවට අවශ්‍ය පුහුණුකරුවන් කොළඹින් ගෙනැල්ලා අප ආයතනයේ වියදමෙන් තමයි පුහුණුවීම් සිදු කරන්නේ."
මාස් විද්‍යාල ආයතනයේ මෙහෙයුම් කළමනාකරු රෙනෝල්ඩ් ප්‍රනාන්දු, “අප මෙහි බොක්සිං ආරම්භ කළේ 2012 වර්ෂයෙදීය. ගතවූ වසර තුනට අපට ජාතික මට්ටමේ රන් පදක්කම් 8 ක් ඇතුළුව පදක්කම් 38ක් ගේන්න හැකි වුණා. ඇත්තටම මෙහෙ ඉන්න ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව සඳහා ලොකු උනන්දුවක් තිබෙනවා. යාපනය ප්‍රදේශයට සීමාවෙලා තිබුණ ඒ අයගෙ ජීවිතවලට බොක්සිං ක්‍රීඩාව නිසා ලෝකය දකින්න හොඳ අවස්ථාවක් ලැබුණා."
ඡායාරූප - ඕෂිත වරකාපිටිය