මීර්පූර්හිදී ශෙරේ බංග්ලා ක්රීඩාංගණයේ අද (04දා) පැවැති තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු තුනක තියුණු ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
බංග්ලාදේශ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 327 ඉලක්කය හඹා ගිය පාකිස්තාන කණ්ඩායම තරගයේ 49.5 වැනි පන්දුවේදී ලකුණු 329 රැස්කර ජයග්රහණය සම්පූර්ණ කරගත්හ.
එය පාකිස්තානු කණ්ඩායමේ හොඳම හඹායාම වූ අතර, මීට පෙර ඉන්දියානු කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ලකුණු 320 ඔවුන්ගේ හොඳම හඹාගොස් ජයගත් ඉලක්කය විය.
එම ජයග්රහණයත් සමග තරගාවලිය තුළ තවදුරටත් රැඳී සිටීමට අවස්ථාව තිබූ අවස්ථාව සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමටත්, ඉන්දීය කණ්ඩායමත් අහිමිවී ගියේය.
ගිලිහෙන්ට ගිය ජයග්රහණය කණ්ඩායම වෙත ළඟාකර දුන් සහිඩ් අෆ්රීඩි පන්දු 25කදී ලකුණු 59 රැස්කිරීමට සමත්වූ අතර, ඔහු පන්දු 18කදී ලකුණු 50 කඩඉම පසුකරයාමට සමත්විය. තවත් පන්දුවකට පෙර ඔහු එම කඩඉම පසුකර ගියේ නම් වසර 18 පෙර (1996) සනත් ජයසූරිය පන්දු 17කදී පාකිස්තානයට එරෙහිව වාර්තා කර තිබූ වේගවත්ම එක්දින අර්ධ ශතකයට හිමි වාර්තාව සමකිරීමට ඉඩතිබුණි. ඔහුට අමතවර අහමඩ් ශෙසාඩ් ලකුණු 103 ක් හා ෆාවඩ් අලාම් ලකුණු 74 රැස්කිරීමට සමත්වූහ.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 326/3 රැස්කිරීමට සමත්විය.