වර්තමානයේ බොහෝ ක්‍රීඩාවල ජය පරාජය වෙනුවෙන් එම ක්‍රීඩාවේ ප්‍රේක්ෂකයන් විසින් ඔට්ටු ඇල්ලීම සිදුකරනු ලැබේ. විශේෂයෙන් ලෝක මට්ටමෙන් පැවැත්වෙන තරගාවලියකදී මෙම තත්ත්වය වැඩිවශයෙන් දක්නට ලැබේ.
නිමා වූ රග්බි ලෝක කුසලාන තරගාවලිය ආශ්‍රිතවද එවැනි ඔට්ටු ඇල්ලීම් බහුලව සිදු වූ අතර එයින් එක් ඔට්ටු ඇල්ලීමක් සඳහා ලොව පුරා මාධ්‍යයන්ගේ වැඩි අවධානයක් යොමු විය. ඒ නවසීලන්ත හා ඔස්ට්‍රේලියා ගුවන් සමාගම් දෙකක් අතර ඔට්ටු ඇල්ලීම සිදු වූ හෙයිනි.
ක්වන්ටස් (ඔස්ට්‍රේලියාව) හා එයාර් නිව්සීලන්ඩ් (නවසීලන්තය) යන සමාගම් ද්විත්වය මෙම ඔට්ටුව ඇල්ලීය. මෙම සමාගම් ද්විත්වයේ ඔට්ටුව වූයේ මෙවර තරගාවලියේ අවසන් තරගය පරාජයට පත්වන රටට අයත් ගුවන් සමාගම ජයගන්නා රටට අයත් කණ්ඩායමේ වර්ණයෙන් සිය ගුවන් යානය වර්ණ ගැන්විය යුතු බවයි. යම් හෙයකින් නවසීන්තය පරාජයට පත්වූවානම් ඔවුන්ගේ ගුවන් යානයක් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වර්ණය වන කහ හා කොළ වර්ණයෙන් වර්ණගන්වා ‘වොලබීස්' ලෙස නම්කළ යුතු විය.
ඔස්ට්‍රේලියාව පරාජයවුවහොත් ක්වාන්ටස් ගුවන් යානයක් කලු පැහැයෙන් වර්ණ ගන්වා එය 'ඕල් බ්ලැක්ස්' ලෙස නම් කළ යුතු විය. මේ පිළිබඳව ඔවුහු සිය ට්විටර් ගිණුම් හරහා අදහස් හුවමාරු කර ගන්නා ලදී.කෙසේ වෙතත් පසුව දෙපාර්ශ්වයම එම තීරණය වෙනස් කරමින් පරාජයට පත්වන ගුවන් සමාගම අනෙක් ගුවන් සමාගම අයත් රටේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම් (jerseys)ඇඳ පියාසර කළ යුතු බවට නැවතත් ඔට්ටුව අලුත් කළේය.
ඒ අනුව අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය වූ අතර ක්වන්ටස් කාර්ය මණ්ඩලයට ඕල් බ්ලැක්ස් ජර්සි හැඳගෙන පියාසර කළ යුතුවිය. ක්වන්ටස් ගුවන් සමාගම ඊයේ (02දා) මෙම ඔට්ටුව ඉටුකරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් බලා පියාසර කළ ගුවන් යානාවේ කාර්ය මණ්ඩලය නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් ජර්සි හැඳගැනීමෙනි.