ජාතික ක්‍රීඩා සංගමයක ධුර සඳහා නාමයෝජනා භාරදීමේදී, ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසි අනුව මින් ඉදිරියට නාමයෝජනා භාරදෙන අවස්ථාව වනවිට වයස අවුරුදු 70 සම්පූර්ණ කර ඇති තැනැත්තෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක සභිකයෙකු වී සිටින අයකුට ඒ සඳහා ඉදිරිපත්වීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ සංශෝධන, 2013.01.15 ඉදිරිපත් කරන ලද සංශෝධන හා ක්‍රීඩා රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ජාතික ඔලිම්පික් කමිටුව හා පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසු ක්‍රීඩා පනතේ නව සංශෝධන සකස්කර ඇති අතර, ඒ අනුව පැරණි ක්‍රීඩා රෙගුලාසි හි ඇතුළත්ව තිබූ ක්‍රීඩා සංගමයක තනතුරු දැරීමට තිබූ උපරිම වයස් සීමාව වූ අවුරුදු 75ක කාලසීමාව අවුරුදු 70 දක්වා අඩුකර ඇත.
කොටස් 06කින් හා උපලේඛන තුනකින් සමන්විත මෙම 2016.10.26 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය පෙරේදා (31දා) රාත්‍රියේ නිකුත් කළ අතර, මෙහි අඩංගු කරුණු 2016.10.27 දින සිට බල පැවැත්වේ. කෙසේ නමුත් නව සංශෝධනයන්හි දේශපාලඥයෙකු තනතුරු දැරීම සඳහා නුසුදුස්සෙකු කර ඇතත්, යම් සංගමයක් මගින් ප්‍රවර්ධනය කරනු ලබන ක්‍රීඩාවෙන් මෙරට හෝ අනුබද්ධ ක්‍රීඩා සංගම් හෝ සංවිධාන නියෝජනය කර ඇත්නම් හෝ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හෝ ජාතික ක්‍රීඩා සංගමයක් ලියපදිංචි කරන ලද, පත්වන ලද හෝ අනුමත කරන ලද යම් ප්‍රධාන තරගාවලියකට හෝ තරගයකට සහභාගි වී ඇත්නම් සහ ඒ සඳහා අදාළ වන ආකාරයට නිකුත් කරන ලද සහතිකයක් සතුව සිටින්නෙකු නම් ඔහු සුදුස්සෙකු බවට පත්කර ඇත.