දකුණු අප්‍රිකානු නායක ඒ.බී ඩිවිලියර්ස් ඉදිරියේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටින බවට වාර්තා පළවීමත් සමගම ඔහුගේ ක්‍රීඩා දිවියේ අනාගතය ගැන බොහෝ දෙනෙකු තුළ සැකසංකා පහළ වී තිබේ. කෙසේ වෙතත් මෙම වාර්තා යම් තරමකින් සනාථ කරමින් අදහස් දක්වන ඩිවිලියර්ස් පවසන්නේ, ඉදිරියේදී තමන් සහභාගි වන ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග සංඛ්‍යාව අඩු කරගැනීමට අවශ්‍ය නිසා ඒ සම්බන්ධයෙන් ලබන මැයි මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි.
ඩිවිලියර්ස්ගේ ක්‍රීඩා දිවියේ අනාගතය ගැන අදහස් දක්වමින් ‘රැපෝර්ට්’ පුවත්පත පසුගියදා වාර්තා කළේ, ක්‍රීඩාවෙන් සමුගැනීමට ඔහු කල්පනා කරමින් සිටින බව ඩිවිලියර්ස්ගේ මිතුරන් සහ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ද පැවසූ බවයි. ඊට හේතුව දකුණු අප්‍රිකානු ක්‍රමය සම්බන්ධයෙන් ඩිවිලියර්ස් තුළ පැහැදීමක් නොමැති වීම බවද එම පුවත්පත වාර්තා කළේය. මේ අතර පසුගියදා මයික් හේස්මන් සමග රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඩිවිලියර්ස් තමාට ක්‍රීඩා කිරීමට සිදුව ඇති තරග සංඛ්‍යාව ඉතා විශාල වීම නිසා රට වෙනුවෙන් කැපවීමෙන් ක්‍රීඩා කිරීමට ඉන් බාධාවක් එල්ල වී ඇති බව පෙන්වා දුන්නේය. ඩිවිලියර්ස් එහිදී 'රැපෝර්ට්’ පුවත්පතේ පළවූ වාර්තාව ප්‍රතික්ෂේප නොකළේය.
"බොහෝ කටකතා මටත් ඇහිලා තියෙනවා. ඒත් පසුගිය අවුරුදු දෙක තුනක කාලය තුළ මම හැම වෙලාවෙම කතා කළේ මගේ තරග රටාව ප්‍රාණවත්ව පවත්වා ගැනීම සඳහා යම් විවේකයක් අවශ්‍ය බවයි. හොඳින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීමට එය ඉතාමත් අවශ්‍ය දෙයක්. එතැනදී තරග කාලසටහන ඉතාමත් වැදගත්. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. මම ඉදිරියේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන හැම ආකාරයකම තරගවලට සහභාගි නොවේවි" යනුවෙන් ඩිවිලියර්ස් පවසයි.
තම ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තරගවලට පමණක් සීමා නොවන බව පැවසූ ඩිවිලියර්ස් සඳහන් කළේ, "මම එක් තරග වාරයකදී අයි.පී.එල්. තරග සියල්ලටම සහභාගි වුණොත්, තරග වාරය අවසානයේදී මට වෙහෙසක් දැනෙනවා. අන්න ඒ කාරණය ගැන තමයි අවසන් වරට මම කතා කළේ. මට ඕනෑ වුනා මගේ ප්‍රාණවත් බව රඳවා ගන්න. මගේ රට නියෝජනය කරන්න මම ගොඩාක් කැමැතියි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ" යනුවෙනි.
මේ අතර ඩර්බන් එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මොහොමඩ් මුසාජී පැවැසුවේ ,ඩිවිලියර්ස්ට විවේකයක් ලබාදිය හැකි ආකාරය ගැන සාකච්ඡා පැවැත්වෙන අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඒ සඳහා සැලැස්මක් සකස් කරන බවයි. එතෙක් ඩිවිලියර්ස් සියලුම ආකාරයේ තරගවලට සහභාගි වන බවද ඔහු කීය.
" වසර 10 ක් හෝ ඊට වැඩියෙන් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් ක්‍රීඩාව නැවැත්තුවාම වෙන්නේ මොනවද? කියන එක ගැන අවධානය යොමු කරනවා. ඒ බී නිරන්තරයෙන්ම රසල් ඩොමිංගෝ (ද. අප්‍රිකානු පුහුණුකරු) එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ඔහුට අවශ්‍ය කරන විවේකයක් ලබාදෙන්නෙ කොහොමද කියන එක ගැන තේරීම් කමිටුව සොයා ගනීවි. ඔහු තවමත් තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න හොඳින්ම කැපවෙලා ඉන්නවා.ෙ ලබන මැයි මාසයේ ක්‍රීඩකයන් සමග නව ගිවිසුම්වලට එළැඹෙද්දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනියි. ඒ නිසා මේ තරග වාරය අවසානය තෙක් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන සියළුම ආකාරයේ තරගවලට සහභාගි වීම ඩිවිලියර්ස්ගේ වගකීමක් " මූසාජී පවසයි.
2004 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එළැඹීමෙන් අනතුරුව පසුගිය ජූලි මාසය වන තෙක්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරග 98 ටම ඩිවිලියර්ස් ක්‍රීඩා කර ඇත. පසුගිය ජූලි මාසයේදී පැවැති බංග්ලාදේශ සංචාරයට ඔහු සහභාගි නොවූයේ සිය පළමු දරුවා උපත ලැබූ නිසාය.
ජොශුවා නේතන් කරුණාරත්න (ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි)