ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු බඳවාගැනීමට අයදුම්පත් එවූ අය අතරින් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම සඳහා පුහුණුකරුවන් අටදෙනෙකු පමණක් අවසන් වශයෙන් තෝරාගැනීමට ඒ පිළිබඳව කටයුතු කරන කමිටුව තීරණය කර තිබේ.
පුහුණුකරුවෙකු පත්කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පත්කළ කමිටුව ඊයේ (03දා) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම 08 දෙනා සඳහා අවධානය යොමුවී තිබේ.
ඒ අනුව මාවන් අතපත්තු (ශ්‍රී ලංකාව), මාර්ක් රාම්ප්‍රකාශ් (එංගලන්තය), එරික් සයිමන්ස් (දකුණු අප්‍රිකාව), මිකී ආතර් (දකුණු අප්‍රිකාව) යන පුහුණුකරුවෝ ප්රමුඛ වෙති. මේ අතර වර්තමානයේ පිතිකරුවන්ගේ තාක්ෂණය පිළිබඳව විශේෂඥ දැනුමෙන් ඉදිරියෙන් සිටින මාර්ක් රාම්ප්‍රකාශ් එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බොහෝ බලපෑම් කළ හැකි අයෙකු දැඩි උත්සහයක යෙදෙන බවද කියැවෙයි. එසේම මාවන් අතපත්තුද පුහුණුකරු තරගයේ ඉදිරියෙන්ම සිටින බවද සඳහන් වෙයි. රාම්ප්‍රකාශ් මිඩ්ල්සෙක්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
ඔවුන්ට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් වෙතද වැඩි අවධානයක් යොමුකර තිබේ.
පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත්‍ර යොමුකළ ඔස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් තෝරාගැනීමේ ඉඩක්ද පවතින බව වාර්තා වේ. එසේම පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත්‍ර යොමුකළ ක්‍රිස් ඇඩම්ස්ගේ (එංගලන්තය) සහ ඇන්ඩි මෝල්ස්ගේ (නවසීලන්තය) අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත්‍ර 17 ක් ලැබී තිබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා (02දා) නිවේදනය කළේය. ඒ දේශීයව එක් අයෙකුත් (මාවන් අතපත්තු) විදේශීය 16 දෙනෙකුත් වශයෙනි.
එසේම ජාතික පුහුණුකරු බඳවාගැනීම හැකි ඉක්මනින් සිදුකරන බව එම කමිටුවේ නියෝජිතයෙක් 'අද'ට පැවසීය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුරැකීමේ පුහුණුකරුවෙකු මෙන්ම පුහුණු උපදේශකයෙකු බඳවාගැනීමට සනත් ජයසූරිය, ශම්මි සිල්වා, ජෙරෝම් ජයරත්න සහ ඈෂ්ලිද සිල්වා යන අයගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබේ.
