සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම, ශ්‍රී ලංකාව සහ බ.ඉ.කොදෙව් කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් අද (23දා) බුලවායෝහිදී පැවැත්වේ. ඒ බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා අද තරගය ජයගැනීම හිතකරය. එසේ නොවන්නට බ.ඉ.කොදෙව් කණ්ඩායම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම පරාජය වන තෙක් හෝ වැස්ස වළාහක දෙවියන්ගේ පිහිට පතන්නට සිදුවේ. එහෙයින් බාහිර පාර්ශ්වයන්ගේ බලපෑමකින් තොරව තම හැකියාවෙන් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයගන්නට සිදුවේ.
තෙවැනි තරගයට පෙරාතුරුව අප සඳහන් කළ පරිදි මෙම තරගය කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්ට සහ උපුල් තරංග යන ක්‍රීඩකයන් තිදෙනාටම තීරණාත්මක තරගයකි. අද තරගයේදී මෙම තිදෙනාට ලකුණු අතරට එන්නට අවස්ථාව උදාවුවහොත්, මිළඟට පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු සංචාරය ගැන බලාපොරොත්තු තබාගන්නට හැකිය. විශේෂයෙන් කුසල් සහ තරංග මේ අතරින් ඉදිරියෙන් පසුවේ.
උපුල් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නද, නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායම සමගින් එක්වූ පසු ක්‍රීඩකයන් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවේ. විශේෂයෙන්ම මැතිව්ස් පැමිණි පසු උපුල් තරංග කෙරෙහි නිතතින්ම අවධානය යොමුවන බැවින්, සිය ස්ථානය රැකගන්නට පන්දුවට පහරදීමට අවස්ථාවක් උදාවුවහොත් ලකුණු අතරට ප්‍රවිෂ්ට වීම උපුල්ට හිතකරය. කුසල් ජනිත් ආරම්භක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වුවහොත්, උපුල් ඒ වෙනුවෙන් යොදාගත හැකි බැවින් උපුල් තරංගට මෙන්ම කුසල් ජනිත් පෙරේරාටද තම ස්ථානයන් රැකගන්නට තරගයක් ලබාදෙන්නට සිදුවේ. කණ්ඩායමක් ලෙස සැලකූ විට එය හොඳ ප්රවණතාවකි. ඒ ක්‍රීඩකයන් අතර තරගයක් නිර්මාණය වීම ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතුකර ගැනීමට අවස්ථාවක් වන බැවිනි.
තෙවැනි තරගයට කැඳවූ ජෙෆ්රි වැන්ඩසේට අද තරගයේදීද අවස්ථාවක් හිමිවිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. තෙවැනි තරගයේදී ඔහුට පන්දු යැවීමට අවස්ථාවක් හිමිනොවුණද, අද තරගයේදී ඔහුගෙන් ප්‍රයෝජනයක් ගත හැකිය. ඒ සඳහා ඔහුට අවස්ථාවක් ලබාදෙන්නේ දැයි අපි බලාසිටිමු. කොදෙව්වන් සමග පැවැති පළමු තරගයේදී, ශ්‍රී ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගිය හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර තුන් ඉරියව් ක්‍රීඩකයන් වැඩි පිරිසකින් තරගයට අවතීර්ණ වීමට අවස්ථාවක් තිබුණද, එය මේ අවස්ථාවේදී සිදුනොකළ යුත්තක් බව අපගේ හැඟීමයි.
තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගය ගිලිහී ගියේ අවසන් පන්දුවාර කිහිපයේ යැයි අපි විශ්වාස කරන්නෙමු. එබැවින් නායක උපුල් තරංග ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව ඇත. ප්‍රතිවාදී කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දවාගන්නා තෙක් පීඩනය ලිහිල් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය. එසේ නොවන්නට එක් පිතිකරුවෙකුට හෝ ලකුණු අතරට එන්නට අවස්ථාවක් උදාවුවහොත් එය තරගයේ බලාපොරොත්තු අත්හැර ගන්නට පවා අවස්ථාවක් විය හැකිය.
නවක දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ලි නර්ස්ට කඩුලු ලබාදීම ශ්‍රී ලංකා පිතිකරුවන් සිදුකළ බරපතළ වැරැද්දකි. දඟ පන්දු යවන්නන් හමුවේ හොඳින් මුහුණදෙන ශ්‍රී ලංකා පිතිකරුවන්, ඇෂ්ලි ඉදිරියේ අසාර්ථක වීම ගැටලුවකි. යම් හෙයකින් සුනිල් නාරීන් අද තරගයට ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවන පීඩනය තවතවත් දැඩි වනු නිසැකය. එහෙයින් ආක්‍රමණය කළ යුතු පන්දු යවන්නන් කවුදැයි යන්න ගැන දළ සැලැස්මක් සකසා ගැනීම නුවණට හුරුය.
තරගය අද (23දා) ප.ව. 1.00ට ආරම්භ වීමට නියමිතය.