ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ හොඳින් ක්‍රීඩා නොකළ බැවින් ක්‍රීඩාලෝලීන්ද කණ්ඩායමෙන් ඈත්වෙන තත්ත්වයක තිබුණු නමුත්, ඒ සියල්ලන්ට ලබාදුන් හොඳම පිළිතුර වන්නේ පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (30දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් මෙලෙස පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, කුසල් මෙන්ඩිස්, ධනංජය, චන්දිමාල් හා රංගන හේරත් හැරෙන්න අනෙකුත් සියලුම පිතිකරුවන් අසාර්ථකවූ බවයි. විශේෂයෙන්මආරම්භක පිතිකරු යුගලය කණ්ඩායමට බෙහෙවින්වටින බව මැතිව්ස් මෙහිදී පවසා සිටියේය. කෙසේනමුත් ඔහු අනාවරණය කර සිටියේ, තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් වෙනස්කම් කිරීමට වුවද තමන් සූදානම් බවයි.
"අපි කණ්ඩායමක් වශයෙන් පසුගිය මාස කිහිපයේදී හොදින් ක්‍රීඩාකළේ නැහැ, ඒක අපි දන්නවා. විශේෂයෙන් ක්‍රීඩාලෝලීනුත් අපෙන් ඈත්වෙන තත්ත්වයක් තිබුණා. ක්‍රීඩකයන් වශයෙන් අපිට ඒ දේවල් තේරෙනවා. අපි හොඳින් ක්‍රීඩා කරනකොට හැමෝම අපට ආදරෙයි, තරග පරදිනකොටත් අපට ආදරෙයි. නමුත් දිගින දිගටම තරග පරදිනකොට ප්‍රේක්ෂකයන්ට යම්කිසි දුකක් ඇතිවෙනවා.
ඒ නිසා ඒ සියලු දේවල් වලට අපි කළ හොඳම දේ තමයි මේ තරගය ජයග්‍රහණය කළ එක. අපි හැමෝම උත්සාහ කරන්නේ තරග ජයග්‍රහණය කරන්න, නමුත් සෑම දවසකදීම ඒ දේ කරන්න බැරි වෙනවා. මෙය අපේ කණ්ඩායමටහොඳ අත්දැකීමක්. අපිව අතහරින්නෙනැතිව අපිත් එක්ක හිටිය ක්‍රීඩාලෝලීන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන් ලබාදෙන සහයෝගය අපි හැමෝටම ගොඩක් වටිනවා.
අපිට පළවෙනි දවස හොඳින් ක්‍රීඩාකරන්න බැරිවීම ගැන කණ්ඩායම ගොඩක් පසුතැවුණා. නමුත් අපි දැනගෙන හිටියා ඔස්ට්‍රේලියානු කණ්ඩායමටත් පන්දුවට පහරදෙන්න මේ කඩුල්ල එතරම් පහසු නැහැ කියලා. අපි හොඳින් පන්දු යැව්වොත්, ඔවුන්වද අඩු ලකුණු සංඛ්‍යාවක තබාගන්න හැකිවෙයි කියලා අපි විශ්වාස කළා.
දෙවැනි ඉනිමේදී හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න තමයි සැලසුම තිබුණේ. එය සාර්ථක වුණා. විශේෂයෙන් කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින් ක්‍රීඩාකළා. ඔහු වටේ අනික් අය ක්‍රීඩාකළා. චන්දිමාල්, ධනංජය හා රංගන හේරත් අමතක කරන්න බැහැ. මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් ඉතාමත් හොඳට ක්‍රීඩාකළ නිසයි හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න අපට අවස්ථාව ලැබුණේ.
අපි දන්නවා කුසල් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේමඅනික් ක්‍රීඩකයනුත් දක්ෂයි. නමුත් සෑම දිනකම හැමෝම හොඳින් ක්‍රීඩා කරන්නේ නැහැ. එමනිසා හොඳ තත්ත්වයකට එන්න නම්, හොඳට ක්‍රීඩාකරන කෙනා ලොකු ඉනිමක් ක්‍රීඩාකළ යුතුයි. මෙම තරගයේ කුසල් කළ දේ තමයි හරි. ඔහු වටේ අනික් අය ලකුණු රැස්කළා. මම හිතන්නේ පළමු පිතිකරුවන් සිවුදෙනාගෙන් අයෙක් ශතකයක් ලබාගත්තොත් අපට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්.
ඔස්ට්‍රේලියාව වගේ කණ්ඩායමක් වේගපන්දු යවන්නන්ට හොදින් ක්‍රීඩා කරනවා. නමුත් මෑත කාලයේදී අපේ දඟ පන්දු යවන්නන් තමයි ඉතාමත් හොඳින් දස්කම් දක්වා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කළේ දඟපන්දු යවන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලබාගන්න.විශේෂයෙන් සුරංග ලක්මාල් ආබාධයකට ලක්වූ නිසා සඳකැන්ව කැඳවන්න තීරණය කළෙත් ඒ නිසා. එයත් කණ්ඩායමේ හොඳ පැත්තට බලපෑවා.
අපි පසුගිය මාස කිහිපයේදී ගොඩක් දක්ෂ, ළාබාල ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙනාවා. නමුත්ඒ දවස්වල අපි ගුටිකෑවා. හැබැයි ඉදිරියට යනකොට ක්‍රීඩකයන් ලබන ආත්ම විශ්වාසය ගොඩක් වටිනවා. එමනිසා තරගයක් දෙකක් පරාජය වුණාට ඒ කට්ටියත් එක්ක ඉන්න ඕන. කුසල් මෙන්ඩිස් හොඳ ඉනිමකට ගියෙත්, සඳකැන් කඩුලු හතක් ලබාගත්තෙත් ඔවුන්ට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණ නිසා.
මේ තරගයේදී කුසල් මෙන්ඩිස්, ධනංජය, චන්දිමාල් හා රංගන හේරත් හැරෙන්න අනෙක් සියලුම දෙනා අසාර්ථකයි. ආරම්භක පිතිකරු යුගලය සෑහෙන්න වටිනවා. නමුත් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ඉතාමත් හොඳින් නව පන්දුවෙන් පන්දු යවනවා. එය ආරම්භක පිතිකරුවන්ට බලපානවා. එමනිසා තේරීම් කමිටුවත් එක්ක කතා කරලා හැකිතරම් ඔවුන්ට අවස්ථාව දෙනවා. අපි පුළුවන් තරම්එකම කණ්ඩායමක ඉන්න බලනවා. නමුත් අවශ්‍ය වුණොත් ඒ වෙනස්කම කරන්නත් අපි ලෑස්තියි."