සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගය අද (28දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා, රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතය. දඹුල්ලේ පැවැති පළමු එක්දින තරගය වාර්තා පොත් අලුත් කරමින් ජයගත් බංග්ලාදේශය මේ වනවිට එක්දින තරග 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් ශූරතාවට ළංවෙමින් සිටියි.
එම නිසාම අද තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත්ය. ඒ බංග්ලාදේශය ඉදිරියේ මීට පෙර ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් පරාජයට පත්ව නොමැති හෙයිනි. එනිසා ඉතිහාසයේ ප්‍රථම වරට බංග්ලාදේශය ඉදිරියේ තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් මිදීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජයගත යුතුය.
බංග්ලාදේශ සංචාරය පුරාවට ශ්‍රී ලංකා පන්දු රැකීම පැවතියේ ළදරු මට්ටමකය. එය මීට පෙර පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදී සිටම පැවැති තත්ත්වයකි. කෙසේ වෙතත් වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු රැකීම දියුණු කර නොගැනීමෙන් ළඟාකර ගැනීමට තිබූ ජයග්‍රහණ මෙන්ම කුසලානද ගිලිහී ගිය බව අපට මතකය.
අපි පළමු එක්දින තරගයට පෙර පැවසුවේද 'කැචස් වින් මැචස්' සංකල්පය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳ හැටි සිහි තබාගත යුතු බවයි. එහෙත් ඔවුන් එකම වරද නැවත නැවතත් සිදුකරමින් පවතී. මෙම තත්ත්වය කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන්ද සිදුවීම බරපතළ ගැටලුවකි. එනිසා ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙහෙසිය යුතුය.
දඹුල්ල ක්‍රීඩාංගණයේදී දිවා, රාත්‍රී තරග පැවැත්වෙන අවස්ථාවලදී කාසියේ වාසිය තීරණාත්මකය. පළමු තරගයේදී කාසියේ වාසිය දිනා නායක උපුල් තරංග පළමුව පන්දු රැකීමට තීරණය කිරීම මේ වනවිට දැඩිලෙස විවේචනයට බඳුන් වන කරුණකි. එහෙත් මේ අවස්ථාවේ නායකයාව විවේචනය නොකර කණ්ඩායමක් ලෙස එම තීරණය බාරගැනීම සිදුකළ යුතුය.
අපි පළමු තරගයේදීත් පැවසූ පරිදි කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහරදිය යුතුය. මෙය දඹුල්ල ක්‍රීඩාංගණයේ අනුල්ලංඝනීය සාධකයක් බවට මේ වනවිට පත්ව ඇතැයි පැවසුවහොත් නිවැරදිය. හේතුව පීඩනයකින් තොරව රිසිසේ ලකුණු පුවරුවට වැඩි ලකුණු ප්‍රමාණයක් එක් කළ හැකි හෙයිනි.
පළමු තරගයට ක්‍රීඩා නොකළ නිරෝෂන් දික්වැල්ල අද තරගයට එක්ව සිටීම ශ්‍රී ලංකා කඳවුරේ මානසිකත්වය ඉහළ නැංවිය හැකි සාධකයකි. ඒ මන්දයත් දික්වැල්ල පසුගිය තරගාවලි කිහිපයේදී ලකුණු අතර සිටි ක්‍රීඩකයෙකු නිසාවෙනි. කෙසේ වෙතත් වේගපන්දු ක්‍රීඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව ඇති හෙයින් බොහෝදුරට ඔහු වෙනුවට අද නුවන් කුලසේකර ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතී.
පළමු තරගයේදී ශ්‍රී ලංකාව පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබමින් ක්‍රීඩා කළද ඔවුන් ඉදිරියේ බංග්ලාදේශය පහසුවෙන් ලකුණු රැස්කරනු දැකගත හැකිවිය. එනිසා අද තරගයේදී එම උපාය වෙනුවට පිතිකරුවන් කෙරෙහි විශ්වාසය තබමින් අතිරේක පිතිකරුවෙකු කණ්ඩායමට කැඳවන්නේ නම්, එය ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අභිප්‍රේරණයක් වනු ඇත.
බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ජයග්‍රාහී මානසිකත්වයක පසුවන හෙයින් අද තරගයට ශ්‍රී ලංකාවද වෙනස් සැලසුමක් යටතේ පැමිණිය යුතුය. විශේෂයෙන් එය ශකීබ් අල් හසන්, තමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම් හා සබීර් රෙහ්මාන්ව පාලනය කළ හැකි සැලසුමක් විය යුතුය. මොවුන් සිවුදෙනාගෙන් එක් අයෙකු ක්‍රියාත්මක වුවහොත් බංග්ලාදේශයට වැඩිවාසි අත්වනු නියතය. එනිසා බංග්ලාදේශ ලකුණු පුවරුවේ කොඳුනාරටිය වන මොවුන් සිවුදෙනාට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව අවහිර කළ යුතුය. ඒ සඳහා ඔවුන් ලබාදෙන සෑම අවස්ථාවක්ම (උඩපන්දු) ප්‍රයෝජනයට ගත යුතුය.
පළමු තරගයේදී අප කළ ලොකුම අත්වැරැද්ද එයයි. පන්දු රැකීම දවසින් දෙකින් නිවැරදි කරගත නොහැකි සේම ඒ සඳහා නිරතුරු පුහුණුව අත්‍යවශ්‍යය. ශ්‍රී ලංකා කණ්ඩායමට එය උපරිමයෙන් ලැබෙනවාද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් අද තරගය බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකාවට තීරණාත්මක හෙයින් තරගාවලි පරාජයෙන් මිදීමට අවදානමට පෙර සූදානම් වී උඩපන්දු රැකගත යුතුයි යන්න මතක් කරදීමට කැමැත්තෙමු. එය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් බංග්ලාදේශය ඉදිරියේ රැකගත් ගෞරවය රැකගැනීමක්ද වනවා නොඅනුමානය.
අද (28දා) තරගය ප.ව. 2.30ට ආරම්භ වේ.