මේ වන විට පවතින්නේ ක්‍රිකට් පිළිබඳව උනන්දු වූ කාලසමාවකි. ඒ විස්සයි20 ලෝක කුසලානයට මේ දින වල ඉන්දියාවේ ක්‍රියාත්මක වන හෙයිනි. ඉන්දියාවටම අයත් කාශ්මීරයේ ක්‍රිකට් පිළිබඳව ඇසෙන මෙම කතාව නම් තරමක් විශේෂ වෙයි. මෙම කතාව අත් දෙකම නොමැතිව ක්‍රිකට් ක්‍රීඩා කරන අහමඩ් ගැනය. ඔහු ජම්මු - කාශ්මීර පැරා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාද වෙයි.
අහමඩ් දැන් 25 වැනි වියේ සිටින අතර ඔහුට අවුරුදු 8ක් වන විට සිය පවුලට අයත් ලී මෝලේ සිදුවූ අනතුරකින් අත් දෙකම අහිමි වෙයි. එතැන් පටන් ඔහුගේ කතාව දිවෙයි.අනතුරට පත්වීමට පෙරාතුව අහමඩ් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් නොදැක්වුවත් අනතුරෙන් පසුව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කිරීමට පටන් ගනියි.
අහමඩ්ගේ පවුලද දරිද්‍රතාවයෙන් බැට කෑ අතර ඔහු ක්‍රිකට් තරග නරඹා ඇත්තේ අසල්වාසීන්ගේ නිවෙස්වලට ගොසිනි. නමුත් ඔහු තම ප්‍රියතම ක්‍රීඩකයින් සඳහා ප්‍රීති ඝොෂා නැගූවිට ඇතැම් පුද්ගලයන් ඔහුව නිවසින් පළවා හැර තිබේ.
කෙසේ වෙතත් ඔහුගේ ක්‍රිකට් පිළිබඳ වූ ආසාවන් එයින් අවසන්ව නොමැත. ඔහු දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගන්නා අතර පන්දු යොමුකරන්නේ පාදයෙනි. පන්දුවට පහරදෙන්නේ ගෙලට පිත්ත තදින් ග්‍රහණය කරමිනි.
" මුලින්නම් මට පිත්ත අල්ලා ගැනීමේදි හා පන්දු යැවීමේදි තාක්ෂණය දියුණු කිරීමට ගැටලුවක් වුණා. නමුත් දෙවියන්ට ස්තූතිවන්ත වෙන්ම මම එය හොඳින් කළා." යැයි අහමඩ් සඳහන් කරයි.
1997 වසරෙදී මෙම අනතුර සිදුව තිබෙන අතර බොහෝ දෙනෙක් සිතා අත්තේ එම අනතුරින් අහමඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අනතුරින් සුවය ලබා වසර තුනකට පසුව නිවෙසට පැමිණ විට ඔහුගේ මුහුණටම ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ අත්දෙකම නැතිව 'ජිවත්වෙනවට වඩා හොඳයි මැරෙන එක' යනුවෙනි.
"මම පළමුවෙන්ම ඉගෙන ගත් දෙය තමයි මගේ පාදයෙන් ආහාර ගන්නා හැටි. මගේ නිවසට ආපු අය කිව්වේ මගේ ආහාර මේසයට දමන්න කියලා. එක මගේ මුවෙන් කන්න පුළුවන් හරියට බල්ලෙක් වගේ. මගේ ආච්චි අම්මා එයට විරුද්ධ වුණා. ඊට පසුව තමයි මගේ පාදයෙන් ආහාර ගැනීමට ඉගෙන ගත්තේ'. මගේ දෙමව්පියන් රැකියා සඳහා පිටත් වෙන නිසා මගේ ආච්චි තමයි මට උදව් කළේ."
සියලු ගැටලු මැද අහමඩ් සිය පාසල් දිවියද ආරම්භ කරන අතර එම පාසලේ සිටි පැරා ක්‍රීඩකයෙකු කළ ආරාධනාවක් මත ඔහු ක්‍රිකට් කණ්ඩායමට එක්වෙයි.
"මම ක්‍රීඩා කළ පළමු තරගයේදී අපේ පන්දු යවන්නට ප්‍රතිවාදීන් වේගයෙන් ලකුණු රුස් කළා. එවිට නායකයා මට කතා කර පන්දු යවන්න කිවුවා. නමුත් කවුරු හරි කිව්වා ඕහ්. 'මේ අත්දෙකම නැති මිනිහා පන්දු යවන්නේ කොහොමද?' කියලා. මම පන්දුව තදින් පාදයෙන් යොමු කළා.ඒ පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට හැකිවුණා. " යැයි ඔහු පැවැසිය.
එසේම සිය දක්ෂතා පිළිබඳව අහමඩ් පවසන්නේ උජාරුවෙනි.
"මම අනෙකුත් ක්‍රීඩකයන් හා සමානව පන්දු රකින්න පුළුවන්. මට පන්දුව හතරේ සීමාවේ සිට ඉතාමත්ම ඉක්මනින් කඩුලු රකින්නාට යොමු කරන්න පුළුවන්"
බී.බී.සී. ඇසුරෙනි