වේල්ස් කුමර 29 ආනන්ද 08
පසුගිය වසරේ ශූරයන්වූ කොළඹ ආනන්ද විදුහල ලකුණු 29-08 ක් ලෙස පරාජය කර මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අගමැති කුසලානය දිනාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල පෙරේදා (15දා) සමත්විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේ පළමු අර්ධයේ කණ්ඩායම් දෙකම තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයකින් තරග වැදුණු අතර, වේල්ස් කුමර විදුහල එම අර්ධයේදී උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු 10ක්ද, ආනන්ද විදුහල උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් මගින් ලකුණු 8ක්ද රැස්කර ගැනීමට සමත් විය.
දෙවැනි අර්ධයේ ආනන්ද විදුහල දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසයෙන් උපරිම ප්‍ර‘යෝජන ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය. ඒ අනුව ඔවුන් එම අර්ධයේ තවත් ගෝල දිනුම් 2ක් හා උත්සාහක දිනුමක් මගින් ලකුණු 19ක් රැස් කළ අතර, ආනන්ද විදුහලට එම අර්ධයේ කිසිදු ලකුණක් රැස් කරගත නොහැකි විය.
සභාපති කුසලානය කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට
ශා. බෙනඩික් 37 නාලන්දා 12
මෙම තරගාවලියට සමගාමීව එම ක්‍රීඩාංගණයේ පැවැති සභාපති කුසලාන අවසන් තරගයෙන් කොළඹ නාලන්දා විදුහල ලකුණු 37 -12 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කර සභාපති කුසලානය හිමි කරගැනීමට කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය සමත් විය.
තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ශාන්ත බෙනඩික් විදුහල ඉදිරියෙන් සිටීමට සමත් වූයේ ලකුණු 22-07 ක් ලෙසිනි.
ජයග්‍රාහී බෙනඩික් විදුහල ගෝල දිනුම් 2ක්, උත්සාහක දිනුම් 4ක් හා දඬුවම් පහරක් මගින්ද, පරාජිත නාලන්දා විදුහල් ක්‍රීඩකයෝ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් මගින්ද සිය ලකුණු 12 රැස්කළහ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු