ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දෙවැනි වරට සංවිධානය කරනු ලැබූ යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය අද (02දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති සුදුසුකම් ලැබීමේ තරගවලින් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුට පමණි. එහි කේවල පිරිමි තරගයට ඩිලූක කරුණාරත්න හා නිම්නක තිසර සුදුසුකම් ලබාගත් අතර, සචින් ඩයස් නිතරග ජයක් ලබා සුදුසුකම් ලබාගත්තේය. ඊට අමතරව කේවල කාන්තා ප්‍රධාන තරගයට අචිනි රත්නසිරි, ලේඛා ශෙහානි, කාවින්දිකා බිනරි සුදුසුකම් ලබාගත් අතර, ඕෂදී කුරුප්පු නිතරග ජයක් ලබා ප්‍රධාන තරගයට පිවිසුණාය.
සුදුසුකම් ලැබීමේ කේවල පිරිමි තරගය තරග වට 16 ක් යටතේ පැවැති අතර, ඉන් තරග 12 කට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග කළහ. ඊට අමතරව සුදුසුකම් ලැබීමේ කේවල කාන්තා තරගය තරග වට 08 ක් යටතේ පැවැති අතර, ඉන් තරග 06 ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග වැදුණහ. ඉන් තිදෙනෙකු තරග කර ජය ලැබූ අතර, එක් ක්‍රීඩිකාවට නිතරග අවස්ථාවක් හිමිවිය. මෙම තරගාවලියේ යුගල පිරිමි සුදුසුකම් ලැබීමේ තරග හා කේවල පිරිමි ප්‍රධාන තරගාවලියේ තරග අද (02දා) සන්ධ්‍යාවේ පැවැත්වේ.