බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන 2016 පැරාලිම්පික් තරගාවලියේ ඊයේ (11දා) පැවැති T44 කාණ්ඩයේ මීටර් 200 අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න ජයලත් හා උපුල් ඉන්දික චුලදාස පිළිවෙළින් හත්වන හා අටවෙනි ස්ථානයට පත්වූහ.
එහෙත් එම තරගයේ ජයග්‍රහණය අත්කරගත් පළමු තරගකරුවන් සියලුදෙනාම කෘත්‍රීම පාද (Blade Runners) පැලඳ තරග කළ තරගකරුවෝ වූහ.
මීටර් 200 අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ආසියානු පැරාලිම්පික් බලවතුන් වන චීනය, ජපානය වැනි රටවලට නොහැකි වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනාම අවසන් තරගයට එක්වීමට සමත්වීම කැපීපෙනෙන සිදුවීමකි.
අද (12දා) තරග වැදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයින් T42 / T47 කාණ්ඩයෙ 100x4 තරගයට සහභාගී වීමට නියමිතය. මෙම තරගයට උපුල් ඉන්දික චුලදාස, දිනේෂ් ප්‍රියන්ත හේරත්, අනිල් ප්‍රසන්න ජයලත් හා අජිත් හෙට්ටිආරච්චි යන ක්‍රීඩකයෝ සහභාගී වෙති.
ඊයේ තරගවලදී ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩක උපාලි රාජකරුණා කොරියානු ක්‍රීඩකයෙක්ව පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර දෙවැනි තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෙකුට පරාජය විය.