වසරක් පුරාවට අමිහිරි පරාජයන් ගොන්නකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31වැනිදා) නෙල්සන්හිදී නවසීලන්තය සමග පැවැත්වෙන තෙවැනි එක්දින තරගයෙන් 2015 වසරට සමුදෙන්නේය. එහෙයින් 2015 වසර ජයග්‍රහණයකින් අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවේවායි ප්‍රාර්ථනා කරමු. ඕනෑම කණ්ඩායමකට මෙවැනි පසුබෑම් ඇති විය හැකිය. නවසීලන්තයද මීට වසර කිහිපයකට පෙර එවැනිම තත්ත්වයක පසුවිය. එහෙයින් මේ මොහොතේ සියලු දෙනාගේම සහාය ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යය. ඔවුන් තව තවත් ධෛර්යවත් කිරීම කළ යුතුය. කෙසේ හෝ ජයග්‍රාහී මාවතට ඔවුන් රැගෙන යා යුතුය.
තරගාවලියක පරාජයක් හෝ තරගයක පරාජයක් එතරම් ගැටලුවක් නොමැත. එය ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ඕනෑම ක්‍රීඩාවක ස්වරූපයයි. ජය මෙන්ම පරාජය අප එකසේ බලාපොරොත්තු විය යුතුය. එහෙත් ගැටලුවක්ව ඇත්තේ මෙතරම් දුර්වල විලාසයෙන් තරග පරාජයට පත්වීමය. අවම වශයෙන් තරගයක් අවසන් පන්දුවාර 10 දක්වාවත් රැගෙන යෑමේ හැකියාවක් තිබිය යුතුය. දෙවැනි එක්දින තරගය පන්දුවාර 36 කින් අවසන් විය. එය දිවා විවේකය තරම්වත් නොපැවැත්විණි. එවැනි තරග නරඹන්නන්ටද කරන්නේ බලවත් අසාධාරණයකි. එබැවින් තරග ජයග්‍රහණය කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් සටන්කාමී ක්‍රීඩා විලාසයක් දියත් කිරීම ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ වගකීමයි. ඒ වෙනුවෙන් අපේ ක්‍රීඩකයන්ට ඇති තරම් හැකියාව ඇත. එහෙයින් තම තමන් කෙරෙහි විශ්වාසය තබා තෙවැනි තරගයේදී නවසීලන්තයට අභියෝගයක් එල්ල කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගකීමයි. තෙවැනි තරගය පරාජයට පත්වුවහොත් එක්දින තරගාවලිය ගැන බලාපොරොත්තු අත්හැර ගන්නටද සිදුවේ.
'අද' පුවත් පත දිගින් දිගටම සඳහන් කළ පරිදි මේ දක්වා පැවැති සියලු තරගයන් හි පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් වගකිව යුතුය. පිතිකරුවන් සියලු ෙදනාම එකවිට අසාර්ථකවීම බලාපොරොත්තු නොවූ දෙයකි. මීට පෙරද අප සඳහන් කළ පරිදිම පළමු එක්දින තරගයේ දී මෙන්ම දෙවැනි එක්දින තරගයේදීද ශ්‍රී ලංකා පිතිකරුවන් නවසීලන්ත නවක වේග පන්දු යවන්නන් හමුවේ අසාර්ථක විය. අතීතයේ සිටම ශ්‍රී ලංකා පිතිකරුවන් මෙපරිද්දෙන් නවක පන්දු යන්නන් හමුවේ අසාර්ථක වීම විශ්වාස කළ නොහැකි දෙයකි. සියල්ල මේ වන විට සිදුව අවසානය. කෙසේ හෝ වැටුණු තැනින් නැගිටිය යුතුය.
හෙට තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ සංයුතියේ වෙනසක් සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන්ම ආරම්භක පිතිකරණ සංයුතියේ වෙනසක් සිදුවීමට වැඩි අවස්ථාවක් ඇත. එමෙන්ම තිසර පෙරේරාට සහ කිත්රුවන් විතානගේට හෙට තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් තරුණ ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරමු.
යම් විශාල ලකුණු ප්‍රමාණයක් ඇති විටදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමට පැමිණියද අඩු ලකුණු සංඛ්‍යාවක් පැවැති දෙවැනි තරගයේදී මැතිව්ස්ගෙන් එවැනි දෙයක් දැකගන්නට නොලැබීම විමතිය දනවන්නකි. ඔහු ඔහුගේ ඇඟ බේරා ගැනීමට කටයුතු කළේද යන්න සැක සහිතය. තරගයක් ලබාදීමට තරම් ලකුණු සංඛ්‍යාවක් පිතිකරුවන් රැස් නොකළ අවස්ථාවේ දී මෙන්ම මාටින් ගප්තිල් වේගවත් ඉණිමක් දියත් කරමින් සිටි මොහොතේ තරගය ජයගැනීම ඉතාමත් අසීරු බව පෙනෙන්නට තිබූ මොහොතක නවක ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ පන්දු යැවීමට කැඳවීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මේ වන විට ඔහු පීඩනයට හසුව සිටී. තරුණ ක්‍රීඩකයන් එපරිද්දෙන් පීඩනයට හසු නොකළ යුතුය. මැතිව්ස්ට වැන්ඩසේ සඟවා තබා ගැනීමට තිබුණා යැයි අපි විශ්වාස කරමු.
නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙන්ම මේ දක්වා පැවැති එක්දින තරග දෙක තුළදී ද ලකුණු අතරට පිවිසි මාටින් ගප්තිල් සිය ක්‍රීඩා දිවියේ හොඳම කාලය පසු කරමින් සිටියි. හෙට තරගයේ දී ද ඔහු සිය සුපුරුදු ආක්‍රමණශීලී තරග රටාව දියත් කරනු ඇත. ගප්තිල් පන්දුවට පහර දීමට පැමිණි විගසම දවාගැනීමට හැකිවුවහොත් එය වාසියකි. නවසීලන්ත එක්දින කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන නායක බ්‍රෙන්ඩන් මැකලම් සිය ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර ඇති බැවින් ඔහුගේ සමුගැන්මෙන් පසු හිස්වන තැනක නවක ක්‍රීඩකයෙකු සොයා ගැනීමේ කටයුතු ඔවුන් ආරම්භ කර ඇති බවක් පෙනෙන්නට තිබේ.
ඒ අනුව ඔවුන් දෙවැනි තරගයේ දී ටොම් ලේතම්ට අවස්ථාව ලබාදුන්නේය. අඩු ලකුණු සංඛ්‍යාවක් පැවැති එම තරගයේ දී ලේතම්ට කලබලයකින් තොරව පන්දුවට පහරදීමට අවස්ථාව හිමිවුණි. කෙසේ වෙතත් හෙට තරගයේ දී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුවහොත් බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රීඩා කරන්නේ නම් ආරම්භක පිතිකරු ලෙසින් පන්දුවට පහරදීමට පැමිණීමට වැඩි අවස්ථාවක් ඇත.නවසීලන්ත නවක පන්දු යවන්නන් මේ වන විට හොඳින් පන්දු යවමින් සිටින බැවින් ඔවුන්ගේ ප්‍රධානම පන්දු යවන්නන් දෙපළ වන ටිම් සවුතිට සහ ට්‍රෙන්ට් බෝල්ට්ට තව තවත් විවේකය ලබාදීම කණ්ඩායම් කළමනාකාරිත්වයට ගැටලුවක් නොමැත. එබැවින් නවසීලන්ත කණ්ඩායම හෙට තරගයට ද නවක පන්දු යවන්නන් සමග අවතීර්ණ වනු ඇතැයි අපි විශ්වාස කරමු.
නෙල්සන් පිටියේදී පැවැත්වෙන තරගය හෙට (31දා) අලුයම 3.30ට පමණ ආරම්භවීමට නියමිතය.