ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි හත්වැනි තැනට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11දා) නිකුත්කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 07 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්වලට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 06 වැනි ස්ථානයේ පසුවිය.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් දහය අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් වලට පමණි.
නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවෙයි. පෙර ශ්‍රේණිගත කිරීම්හිද ඔවුන් මෙම ස්ථානයන්හි පසුවිය. කෙසේ නමුත් එවර (පසුගිය ශ්‍රේණිගත කිරීම) තෙවැනි හා සිවුවැනි ස්ථානයේ පසුවූ පාකිස්තානු හා එංගලන්ත කණ්ඩායම්වලට සිය ස්ථානයන් අහිමිවී ඇති අතර, එම ස්ථානයන් සඳහා නවසීලන්තය (3) හා ඉන්දියාව (4) පැමිණ ඇත.
නව ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තය පස්වැනි ස්ථානයේ හා පාකිස්තානය හයවැනි ස්ථානයේ පසුවෙයි. මීට පෙර නවසීලන්තය පස්වැනි ස්ථානයේ පසුවූ අතර, ඉන්දියාව ශ්‍රී ලංකාවටද පසුපසින් හත්වැනි ස්ථානයේ පසුවිය. ඒ හැරෙන්න සෙසු ස්ථානයන්හි වෙනසක් සිදුවී නොමැත.
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර තවමත් පෙරමුණේ පසුවන අතර, හෂීම් අම්ලා දෙවැනි ස්ථානයේද ඒ.බී. ඩිවිලියර්ස් තෙවැනි ස්ථානයේද පසුවෙති. ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි ස්ථානයේ පසුවන අතර, ඒ හැරෙන්න වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට පළමු දසදෙනා අතරට එක්වීමට අවස්ථාවක් නොලැබිණි.
දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටෙන් ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටින අතර, පළමු දස දෙනා අතර සිටින එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වන රංගන හේරත් සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම
	1. දකුණු අප්‍රිකාව (130)
	2. ඔස්ට්‍රේලියාව (108)
	3. නවසීලන්තය (99)
	4. ඉන්දියාව (99)
	5. එංගලන්තය (97)
	6. පාකිස්තානය (97)
	7. ශ්‍රී ලංකාව (96)
	8. බ.ඉ. කොදෙව් (84)
	9. බංග්ලාදේශය (39)
	10. සිම්බාබ්වේ (05)
 
                        
						popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                