ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණයේ ගැටලුවක් පවතින නමුත් මහේල ජයවර්ධන ආරම්භක පිතිකරණයට යොදාගැනීමට තවමත් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට කොළඹදී එක්වෙමින් හෙතෙම ඊයේ (20දා) මේ බව සඳහන් කළේය.
ඉන්දීය තරගාවලිය කනගාටුදායක තරගාවලියක් වුවත් එංගලන්ත තරගාවලියට හොඳින් මුහුණ දීමට බලාපොරොත්තුවන බව මැතිව්ස් පැවසීය.
"ඉන්දීය තරගාවලිය කනගාටුදායක තරගාවලියක්. අපි ඒක හොඳට ක්‍රීඩා කළේ නෑ. පිතිකරණය, පන්දු රැකීම, පන්දු යැවීම අංශ තුනම හොඳට කළේ නෑ. නමුත් මේ තරගාවලිය ලෝක කුසලානයට හයියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳට ක්‍රීඩා කරලා මානසිකත්වය රඳවා ගන්න උත්සාහ කරනවා. අපි ඉක්මනින්ම අපේ ගැටලු නිම කරගෙන ඉදිරියට යන්න බලනවා. අපි දැන් දන්නවා කවුද ක්‍රීඩකයෝ කියලා. තරගාවලියට අලුත් මුහුණු දෙක තුනක් ගේන්න බලාපොරොත්තු වෙනවා.
මහේලට ආරම්භ පිතිකරු තනතුර දෙන්න තවම අපි තීරණය කර නෑ. ඒ ගැන සාකච්ඡා කරන්න ඕන. ආරම්භක පිතිකරණ ස්ථානයේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට තව විකල්ප තියෙනවා. මේ තරගාවලියේදී ඒවා අත්හදා බලලා නවසීලන්ත තරගාවලියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ තරගාවලියේදී අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්නේ නෑ. අපිට අවශ්‍ය දේ පමණයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඉන්දීය තරගාවලියට අපේ සූදානමක් තිබුණේ නෑ. නමුත් පසුගිය සති දෙක තුනේදී තරග ක්‍රීඩා කළා. මට හිතෙනවා පුහුණුවීම් කරනවාට වඩා තරග ක්‍රීඩා කිරීමෙන් අපිට අවශ්‍ය ක්‍රීඩකයන් බලාගන්න පුළුවන් වුණා කියලා. දැන් මොනවගේ ක්‍රීඩකයන්ද යොදාගන්නේ කියලා අදහසක් තියෙනවා. තරගාවලියට අපිට තව දවස් 4 ක් විතර තියෙනවා. අපි ඉන්දියාවේදී වුනත් පුහුණුවීම් කළා." යනුවෙන්ද මැතිව්ස් සඳහන් කළේය.
අපේ පන්දු රැකීම හොඳින් තිබුණානම් මීට වඩා ප්‍රතිඵල බලාගන්න තිබුණා.
- ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු
"නවකයන්ගේ තාක්ෂණය පිළිබඳව ප්‍රශ්න වගේම ජාත්‍යන්තර තරගවලදී බලපාන තවත් ප්‍රශ්නයක් තමයි තිබෙන පීඩනය තමන් පාලනය කරගනිමින් දක්ෂතා පෙන්නන්න කියන එක. ඉන්දියාව තමයි පොඩි ක්‍රීඩකයෙකුට පටන් ගන්න අමාරුම රට. අපි සමහර තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැක්කා. තිරිමාන්න හොඳ තරග දෙකකට සහභාගී වුණා. ළහිරු ගමගේ පෙන්නපු දක්ෂතාව ඉතාමත් ඉහළයි. අපේ පන්දු රැකීම හොඳින් තිබුණා නම්, මීට වඩා ප්‍රතිඵල බලාගන්න තිබ්බා."
තරග හතකින් සමන්විත එංගලන්ත - ශ්‍රී ලංකා තරග සංචාරය එළැඹෙන 26දා ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන දිවා/රාත්‍රී තරගයෙන් ආරම්භ වේ.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු පුහුණු තරගය අද (21දා) එස්.එස්.සී. පිටියේදීත්, දෙවැනි පුහුණු තරගය අනිද්දා (23දා) පී. සරා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු