ඉන්දියාව විසින් තමන්ට එරෙහි වන ක්‍රීඩකයන්ට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාව නිසා ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට , ඔහු දිනා ගත් රිදී පදක්කම සහ 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට යෑමේ සුදුසුකම අහිමි වී , ඔහුට සිය ක්‍රීඩා දිවියෙන් ද සමු ගැනීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා 05/26 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප්‍රකාශ කළේය .
ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත මීට පෙර පැරා ඔලිම්පික් තරගාවලි දෙකක දී , ලෝක ශූරතා තරගාවලි දෙකක දී සහ ආසියානු තරගාවලි තුනක දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දීමට සමත් වූ ක්‍රීඩකයෙකු බව ද දීපාල් හේරත් මහතා පැවසීය .
ඔහු 2014 වසරේ සිට ජාත්‍යන්තර පැරා ඔලිම්පික් මළළ ක්‍රීඩා සංගමයේ වෛද්‍ය සභාව විසින් අත් ආබාධිත එෆ්.- 46 කාණ්ඩය යටතේ තරග කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ක්‍රීඩකයෙකු බවට සනාථ කර ස්ථිර කර සිටි ක්‍රීඩකයෙකු බව ද සභාපතිවරයා පැවසීය .
ඔහු 2014 වසරේ සිට අඛණ්ඩව , දිනපතා පුහුණු වීම් වල නිරත වී සිටි නිසා ඔහුගේ අතේ , වැළමිටෙන් පහළ කොටසේ යම් සුව වීමක් තිබී ඇති බව ද ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පැවසූ අතර මෙම තත්වය පාදක කර ගනිමින් ඉන්දියාව විසින් යුරෝ 100 ක මුදලක් , ලෝක පැරා ඔලිම්පික් කමිටුව වෙත තැන්පත් කරමින් දිනේෂ් ප්‍රියන්තට එරෙහිව මෙම විරෝධතාව ඉදිරිපත් කර තිබූ බව ද හෙතෙම පැවසීය .
ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කර වෛද්‍ය හේතු මත විශ්‍රාම ලබා සිටින දිනේෂ් ප්‍රියන්ත , මෙම පැමිණිළි කිරීමත් සමග ලෝක පැරා ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය සභාව විසින් කැදවා , ඔහුගේ ක්‍රීඩා කිරීමේ අවස්ථා වලට අමතරව දෛනික ජීවිතයේ ඔහු ආබාධිත අත භාවිතා කරන ආකාරය පිළිබඳ වීඩියෝ දර්ශන සහිතව නිරීක්ෂණ සහ අධ්‍යයනයන් කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹී සිටින බව තමා වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පැවසීය.
දිනේෂ් ප්‍රියන්ත මෙම වෛද්‍ය ආබාධිත තත්වයෙන් මිදීම පිළිබඳව තමන් සතුටු වන බවත් , ඔහුට ගෞරවාන්විත සමු ගැනීමකට අවස්ථාව ලබා දී , ඔහුව අනාගතයේ දී පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවට සම්බන්ධ කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව මෙම කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය .
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_89fe72ec11.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_bdc9205385.jpg)