මෙරට බෞද්ධ ජනයා මෙම පොහොය සිරිපා පොහොය ලෙසද හඳුන්වයි. මැදින් පොහෝ දින සිදු වූ ආගමික ශාසනික සිදුවීම් රැසකි. සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු අප ගෞතම බුදුරජාණන් වහන්සේ පළමු වරට ශාක්‍යයන් ජීවත් වන කිඹුල්වත් පුරයට වැඩම කළේ මැදින් පොහෝ දිනයේය.
කිඹුල්වත් පුරයට වැඩි ගමනේදී ශාක්‍යයන්ට බුද්ධත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොතිබීමෙන් බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් සිදු නොකළේය. මේ නිසාම ඔවුන්ගේ මානය බිඳ හෙළීමට යමා මහ පෙළහර පෑමට සිදුවිය. මේ දුටු ශාක්‍යයෝ ඉතා විස්මයට පත්වූහ.
රජකම, වස්තුව, රාජකීය උරුමය, ධනය, බලය මේ සියල්ලම උතුම් වූ අරමුණක් වෙනුවෙන් දන් දිය හැකි බව පෙන්වා දෙමින්, පාරමී ධර්මයේ තිබෙන්නා වූ අසමසම ගුණය පැහැදිලි කරමින් වෙස්සන්තර ජාතකය දේශනා කළහ. බුදුදහම තේරුම් ගත් සුද්ධෝදන රජතුමාගෙන් බුදුරජාණන් වහන්සේට තෙවැනි වරටද වැඳුම් ලැබුණේ මෙවැනි දිනකය.
බුදුන් වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයා කිඹුල්වත් පුරයේ වීදිවල පිඩුසිඟා වැඩීම කරන විට එය රාජ්‍ය වංශයට කරන අපකීර්තියක් ලෙස සුද්ධෝදන රජතුමා පවසා ඇත. එවිට බුදුන්වහන්සේ “ඔබ ශාක්‍යවංශයේ වුවත්, මම බුද්ධ වංශයේ. බුද්ධ වංශිකයන් ගෙයින් ගෙට පිණ්ඩපාතයේ වඩින එක සිරිතක්* යනුවෙන් දේශනා කළහ. පසුව රජතුමා මාලිගය තුළ බුදුරදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දානය පිරිනැමීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන් සුද්ධෝදන රජතුමා සකෘදාගාමී මාර්ග ඵල අත්කර ගත් බව සඳහන්ය. සත් හැවිරිදි රාහුල කුමාරයාගේ මහණ කිරීම සිදුවූයේද මේ මැදින් මහ පොහොය දිනයකදීය.
මේ නිසා දෙමාපිය අවසරයෙන් තොරව ළමුන් මහණ නොකිරීමේ නීතිය පනවන ලද්දේද මැදින් පොහොය මුල් කරගෙනය. තවද මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයට පත්වීම ආදී ශාක්‍ය වංශිකයන්ගේ ශාසනික අභිවෘද්ධිය උදා කළ පොහොය දිනයක් ලෙස උතුම් මැදින් පෙහොය හැඳින්විය හැකිය.
සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනල මුදුනට යන්නේද මැදින් පොහොය දිනයටයි. මේ නිසා මෙම පොහොය සිරිපා පොහොය ලෙසද ව්‍යාවහාරයේ යෙදේ.