කොළඹ සිට මහඉඳුරුව දුම්රියපොළෙන් හෝ බස් නැවතුම්පොළෙන් බැස සුදුවැලිපොත මාවත ඔස්සේ කිලෝමීටර් තුනක දුරක් ගිය පසු ගල්තලාවක් මත පිහිටි මල්මඩුවාකන්ද පුරාණ විහාරය හමුවේ.
ඉඳුරුව ප්‍රදේශයට ඉඳුරුව යන නාමය ලැබී ඇත්තේ හිඳි බුදුරුවක් තිබෙන නිසාවෙනි. එදා පටන් මේ හිඳිරුව, ඉඳුරුව නම් විය යැයි ජනප්රවාදයේ සඳහන් වේ.
මල්මඩුවාකන්ද විහාරස්ථානයේ අවට පරිසරය අරලිය මල්ගස්වලින් යුක්ත නිසාද, මල් මණ්ඩලයක්, මල් මාලාවක් වැනිවූ නිසා ද, බෙන්තොට ගලපාත විහාර මහා කාශ්‍යප දළදා පූජාවට මල් සැකසූ 'මල් වඩුවා' මෙහි සිටි බැවින්ද මෙම විහාරස්ථානයේ නම නිර්මාණයවී ඇති බවද පැවසේ.
මෙම පුදබිම ඈතට නීල වර්ණයෙන් දිස්වන බැවින් නිල්ගල් තලාව විහාරය නමින්ද හඳුන්වා තිබේ.
මෙම විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ සෙවීමේදී දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස යුව රජුට ලැබුණු මහා කාශ්‍යප දළදා වහන්සේ බෙන්තොට මහා විහාරයේ තැන්පත් කර දළදා පූජාව පවත්වා ඇති බවත්, එම පූජාවට මල් සපයා ඇත්තේ මෙම විහාරස්ථානයෙන් බවටත් සඳහන් වේ.
මෙම විහාර භූමිය මුහුදු මට්ටමේ සිට අඩි සියයක් පමණ උසින් අක්කර 2ක ප්‍රමාණයේ පැතිරී ගිය මහ කළු ගල්තලාවක් මත පිහිටා ඇති අතර, ඒ මතට පිවිසි ඔබට බටහිරින් මහ සමුදුරත්, ඊශාන දිශාවෙන් සිරිපා කඳුවැටි පෙළත් මෙහිදී දක්නට ලැබේ.
මල්මඩුවාකන්ද විහාරස්ථනය සුවිශේෂී වන්නේ චෛත්‍ය රාජයාණන් වහන්සේලා දෙනමක් සහිත ඉදිවූ ලංකාවේ පළමුවැනි විහාරස්ථානය නිසාවෙනි. එමෙන්ම මෙහි ගල් ළිං දෙකක්, සුවිශාල නාගස් දෙකක් පැවතීමද විශේෂිත කරුණකි.
මීට අමතරව දෙමහල් විහාරය, ඝන්ඨාර කුලුන, පැරණි ධර්ම ශාලාව, සිතුවම් මන්දිරය මෙම විහාරස්ථානයට වඩාත් ආලෝකයක් ලබාදෙයි.
ඉඳුරුවේ මුල්ම පැරණිම විහාරස්ථනය ලෙසද මෙම විහාරය සැලකෙන අතර, විහාර මන්දිරයේ බිම්මාලයේ මාර පරාජය නිරූපණය කෙරෙන චිත්‍ර මුද්‍රාව වෙනත් ප්රතිමාවල දක්නට නොමැති බවද සඳහන් වේ.
තිසර ගංගාදර