අන්ධකාරය තුළින් ආලෝකය කරා ළඟා වීමට සිතේ ස්භාවය හදුනාගන්න
අද මැදින්පුර පොහෝ දිනයයි. ගෞතම බුදුරදුන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව තමන් වහන්සේගේ පියාණන් ඇතුළු ඥාතීන් හමුවීම සඳහා බුදුරජාණන් වහන්සේ පළමු වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීම මෙන්ම නන්ද හා රාහුල යන ශාක්‍ය කුමාරවරුන්ට ශාසනික දායාදය ලබාදීම හෙවත් උතුම් ප්රවාජ්යාවට පත් කිරීම ආදි කටයුතු මේ මැදින් පුන් පොහෝ දිනයේදී සිදුවී ඇති නිසා ශාසනික වශයෙන් අප කාටත් මෙම පොහොය වැදගත් දිනයක් වෙනවා. මේ පොහොය දිනයේදී ධර්ම දේශනය පවත්වන්නේ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික, මඩුගහවත්ත පුරාණ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පුජ්‍ය දොරණෑගම රතනපාල නාහිමියන්ය.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මෙම වැදගත් දිනයේ පුද්ගල විශේෂයන් ත්‍රිත්වයක් පිළිබඳ කරුණු ඇතුළත් අංගුත්තර නිකායේ තික නිපාතයේ එන වජිරූපම සූත්‍රයේ ඇතුළත් ධර්ම කරුණු කිහිපයක් ඔබට පවසන්න අදහස් කළා.
වරක් බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් හා ඔවුන්ගේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව වර්ග තුනක් යටතේ විග්රහකොට දේශනා කළා. එනම්, පරණ තුවාලයකට සමාන සිත් ඇති පුද්ගලයා, විදුලි එළියකට සමාන සිත් ඇති පුද්ගලයා සහ දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයා යනුවෙනි. ඒ අනුව පුද්ගලයන්ගේ චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය පිළිබඳව පුද්ගල විභේදනයන් විස්තර වශයෙන් අපි හඳුනාගැනීම වැදගත් වෙනවා.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රෝධ කරයිද, ක්‍රෝධය බහුලකොට ඇත්තේද ස්වල්ප දෙයක් කියන ලද නමුත් ගැටෙයිද, කිපෙයිද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණෙයිද, කෝපයක්, ද්වේෂයක්, නොසතුටු බවක් පහළ කරයිද ඒ පරණ තුවාලයකට සමාන සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවයයි. පරණ තුවාලයක් දඬු කොණකින් හෝ කැබිලිත්තකින් හෝ පෑරුවහොත් බොහෝසෙයින් ලේ ගලයි. එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රෝධ කරන ස්වභාව ඇත්තේද සුළු දෙයකින් වුවද කිපෙයි නම් තද බවට පැමිණෙයිද, කෝපයද ද්වේෂයද නොසතුටු ස්වභාවයද පහළ කරයිද, මේ පරණ තුවාලයකට සමාන සිත් ඇති පුද්ගලයා යැයි හඳුන්වයි.
ඒ වගේම විදුලියකට සමාන සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවය මෙසේය. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යථාර්ථය තේරුම් අරගෙන ජීවත්වේ නම් ඒ ඔහුය. මේ දුක යැයි ඒවූ පරිද්දෙන්ම දනියිද, මේ දුක ඉපදීමට හේතුව යැයි එලෙසම දනියිද, මේ දුක වැළකීම් යැයිද ඒ ආකාරයෙන්ම දන්නේද, මේ දුක් වැළැක්මට යන ප්‍රතිපදාව යැයි තේරුම්ගන්නේ නම් ඔහු යම්සේ ඇස් ඇත්තා වූ පුරුෂයෙක් අන්ධකාර රාත්‍රියෙහි විදුලි එළියක් ආධාරයෙන් රූපයන් දක්නේද එසේම මෙම කරුණු කාරණාද තේරුම් ගනියි. ඔහුට විදුලියට සමාන සිත් ඇත්තා වූ පුද්ගලයා යැයි කියනු ලැබේ.
දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවය මෙසේයි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම ඔහුගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයිද, ඔහු එවැනි සිත් ඇත්තෙක්ය.
වජ්‍රයට බිඳිය නොහැකි වූ කිසි මැණිකක් හෝ ගලක් හෝ නැත්තේ වේද, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කෙළෙසුන්ගේ ක්ෂය වීමෙන්, අර්හත්ඵල සමාධියට මේ ආත්ම භාවයෙහිම ඔහුට ප්රත්යක්ෂකොට පැමිණ වාසය කිරීමට හැකිවේ. සැබැවින්ම ඔහු දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයෙක්ය.
මේ පුද්ගලයන් තුන්දෙනාම අප සමාජය තුළ මේ ලෝකයෙහි සිටිනවා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. මේ පුද්ගල උපමාවන් අපට පැහැදිලි වූ පරණ වණයකට සමාන සිත් ඇති පුද්ගලයා සුළු වරදකින් වුව නිතර කිපෙන ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයෙක්ය. විදුලියකට සමාන සිත් ඇති පුද්ගලයා චතුරාර්ය සත්‍ය මිශි්රත සද්ධර්මය විශ්වාස කරන, අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයෙක්ය. දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයා සියලු කෙළෙසුන් නසා අර්හත් තත්ත්වයට පත් වූ රහතන් වහන්සේ නමක්ය.
අප සිතේ පවතින විවිධාකාර කෙළෙස් නිසා අපට විවිධ අවස්ථාවන්හි තරහ, ක්‍රෝධය, වෛරය, පළිගැනීම ආදී මානසික තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. ඒ අපව කෙළෙස් වලට යටත්ව සිටින නිසාමය. මෙම පහත් මානසික තත්ත්වයන්ට අප නිතර නිතර මුහුණ දෙන්නේ නම් ඒ අය සතුව ඇත්තේ ළාමක සිතකි. ඒ තුළින් නිතර තමා සමග මෙන්ම අන්‍යයන් සමගද ගැටුම් ඇතිකර ගැනීමට පෙළඹෙයි. එබඳු ළාමක සිතක ස්වභාවය, ධර්මයේදී උපමා කරන්නේ පැරණි තුවාලයටයි.
අපේ සිතේ ඇතිවන මෙම ළාමක සිතුවිලි දැන හැඳිනගෙන ඒවා නැවත නොඉපදවීම සඳහා යමෙක් උත්සාහ කරන්නේ නම් එම පුද්ගලයා සම්බුදුදහම පිළිපදින තැනැත්තෙකි. සම්බුදු දහම අනුගමනය කරන්නෙකි. කෙළෙස් යටපත් කිරීම සඳහා උත්සාහ කරන්නෙකි.
කෙළෙස් ප්රහීනය සඳහා උත්සාහ කරන්නෙකි. එම පුද්ගලයා උපමා කරන්නේ විදුලියකටය. එනම් අන්ධකාරය තුළින් ආලෝකය කරා ළඟා වන උතුම් පුද්ගලයෙකු නිසාය.
නිකෙළෙස් සිත දියමන්තියකට සමානය. එනම් සියලු කෙළෙස් නසා කෙළෙස්වලට යටත්වීමක් නැති උතුම් අර්හත් තත්ත්වයට පත්වූ රහතන් වහන්සේ මින් අවධාරණය කරයි. එබඳු උතුමන් ලෝක ස්වභාවය මනාව අවබෝධ කොට ඇති හෙයින්, කිසිවක් සමගත්, කිසිවෙක් සමගත් ගැටුම් ඇති කර නොගනී. එය දියමන්තියක වෙනත් කිසියම් කහටක් නොරැදෙන්නාක් මෙනි. හුදෙක් අන්‍යයන්ට පි‍්‍රය උපදවමින් ආලෝකයක්ම ලබාදෙන හෙයිනි. ඔබ සැමදා මෙම උතුම් ධර්මය අවබෝධ කරගනිමින් යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි