උතුම් වෛශාක්‍ය මංගල්‍යය යෙදෙනු 14 දිනයේදී වෙසක් දිනය ගතකළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරමින් 'අද' ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කුරුඳුවත්ත ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, 'බෞද්ධයා' නාලිකාවේ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාණන් විසිනි.
පින්වතුනි,
වෙසක් දිනය කියන්නෙ බෞද්ධයාගේ උතුම්ම දිනය ලෙසයි සලකන්නෙ. ඒ මොකද සිද්ධාර්ථ කුමරෝත්පත්තිය සිදුවීම, බෝධිසත්ත්වයන් වහන්සේගේ බුද්ධත්වය වගේම, බුද්ධත්වයෙන් පසු පන්සාලිස් වසක් දෙව් මිනිසුන් සහිත ලෝකයා සසර දුකින් මිදවීමට මාර්ගෝපදේශකයා වෙමින් කටයුතු කර පිරිනිවනට එළඹුණේත් වෙසක් පුර පොහෝ දිනයකයි.
ඒ වගේමයි මහාවංශ, දීපවංශ ආදීවංශ ආදී අපගේ ඉතිහාස කතාවල සඳහන් වෙනවා සිංහල ජාතියේ සමාරම්භක දිනයත් වෙසක් දිනය බව. මක්නිසාද විජය කුමරු ලක්දිවට පැමිණෙන්නේත් බුදුරාජණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේමයි.
එදා සක් දෙවිඳුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේද සැතපිලා දේශනා කරන ලැබුවා 'දේවේන්ද්රය, මගේ සම්බුද්ධ ශාසනය බොහෝ වූ කලක් පවතින්නේ ශ්‍රී ලංකාද්වීපයේ' බව.
බුදු සසුන චිරාත් කාලයක් පවතින්නේ ලංකාවේ බවත්, එය ආරක්ෂා කරන්නේ සිංහල ජාතිය විසින් බවත් දුටු බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුන්ට බුද්ධ ශාසනයත්, ලංකා දේශයත් සිංහල ජාතියත් ආරක්ෂා කරන ලෙස නියම කළ බව සඳහන් වෙනවා. ඒ අනුව එය පිළිගෙන සක් දෙවිඳුන් උත්පලවන් දෙවිඳුන්ට ලක් බුදුසසුන සුරැකීම භාරකළ බව සඳහන් වෙනවා.
විජය කුමරු ලංකාවට පැමිණි විට සක් දෙවිඳුන් තවුස් වෙසක් ගෙන පිරිත් නූල් බැඳ විජය කුමරු ඇතුළු පිරිසට ආරක්ෂාව සැලසූ බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඒ අනුව වෙසක් දිනය ආගමික වශයෙනුත්, ජාතික වශයෙනුත් අපට ඉතාම වැදගත් දිනයක් වෙනවා. වෙසක් දිනයට අපේ බෞද්ධයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහත් ගෞරවයෙන් ආමිස පූජාවල වගේම ප්‍රතිපත්ති පූජාවලත් නිරතවෙනවා. ඈත පිටිසර ගම්මානයක වුණත් වෙසක් දිනයට බෞද්ධ කොඩියක්, පහන් කූඩුවක් දැල්වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මැටි පහනක් දැල්වෙනවා.
ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවල තොරන් වගේම වෙසක් කූඩු, වෙසක් සැරසිලි, වෙසක් කලාප දන්සල් ආදිය සිදුවෙනවා. ඒවා ඉතාම වැදගත්. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ එය වදාළා. උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපුණු අවස්ථාවේ අතුරු සිදුරු නැතිව අහසේ දෙවිවරු රැස්වුණා. අහසේ සිට පරසතු මදාරා මල්වලින් උන්වහන්සේ බුදු සිරුර වැසී යන ලෙස මල් පූජා කළා.
ඒ වගේම දෙවිවරු අහසේ සිට සුවඳ වර්ග විහිදවූවා. බෙර වාදනය කළා. මේ විදහට බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ පූජෝපහාර දැක්වූවා. එම පූජෝපහාර දුටු බුදුරජාණන් වහන්සේ වදාළේ,
“යමෙක් මට ඉහළින්ම සලකනවා නම් මට කරන උසස්ම පූජාව ප්‍රතිපත්ති පූජාවයි. මේ මල් පහන් සුවඳ දුම් බුද්ධ පූජාව පැවැත්වීම වගේම ඊටත් වඩා උතුම්ම පූජාව එයයි" යනුවෙනුයි.
“මා දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන්කිරීමයි මා පිදීම ලෙස දකින්නේ" යනුවෙන් උන්වහන්සේ වදාළා.
ඒ අනුව පින්වතුනි, අපට පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ ධර්ම මාර්ගය තුළ ගමන් කරමින් ධර්මිෂ්ට ජීවිතයක් ගතකරන්නන් බවට පත්වීමයි.
අද ඇතැමුන් වෙසක් උත්සවයේ තිබෙන පූජනීයත්වය පවා කෙළෙසන අවස්ථා තිබනෙවා. ඇතැමුන් දන්සල් පවත්වනවා. වෙසක් දිනයට මිනිසුන්ට බලෙන් එළව එළවා ආහාර ලබාදෙනවා, සංග්‍රහ කරනවා. එය හොඳයි. නමුත් ඇතැමුන් මත්පැන් බොමින් නොයෙකුත් විදිහේ ගීත නාටක ආදිය පවත්වමින් වෙසක් පූජනීයත්වය කෙළෙසනවා.
විශේෂයෙන් ඔළුබක්කන් නටමින් ඒ වගේම නොයෙක් විදිහේ ආගමික පසුබිමක් නොමැති ගීත ආදිය වාදනය කරමින් කටයුතු කරනවා. ඒවා බුදුරජාණන් වහන්සේටත් බුදු දහමටත් කරන නින්දා අපහාස වගේම, තමන් සිදුකරගන්නා පින් නොව, පව් ලෙසයි සලකන්නෙ. මෙබඳු උතුම් දිනයක එවැනි දෙයින් ඈත්ව පින් කරගත යුතුයි.
ඒ වගේම ප්‍රතිපත්තිගරුකව වෙසක් දිනය සමරනවා නම් එය තමයි බුදුරජාණන් වහන්සේට කරන උතුම්ම පූජාව වෙන්නෙ. ඒ වගේම තවත් විශේෂ පූජාවක් තමයි අසරණයන්ට සරණ වීම. දුප්පත්තුන්ට උපකාර කිරීම, දිළිඳු පුද්ගලයන් සිටිනවා නම් ඔවුනට හැකි පමණින් උදවු උපකාර කළ යුතුයි.
අධ්‍යාපනය ලබන්නෙකු අධ්‍යාපනය ලැබීමට අපහසුතාවෙන් සිටිනවා නම් එයට උපකාර කළ යුතුයි. ලෙඩුන්ට උපස්ථාන කරනවා නම් මේ සියල්ලන් බුදුරජාණන් වහන්සේට කරන උපස්ථාන ලෙස දක්වන්න පුළුවන්. වෙසක් සමයේ අපේ බෞද්ධයන් අසරණයන්ට සරණ වන්නට, ගිලන් වූ රෝගීන්ට උපස්ථාන කරන්නට යොමුවෙනවා නම් එය ඉතාම උතුම් වෙසක් මංගල්‍යයක් වෙනවා.
ඒ වගේම දෙමාපියන්ට සැලකීම අද සමාජයේ සමහර පුද්ගලයන්ගෙන් ඈත්වේගෙන යනවා. ධනවත්, පොහොසත් කියන ඇතැම් ඉහළ පන්තියේ පවුල්වල සමහර දෙමාපියන් ජීවිතයේ අවසාන කාලයේ ජීවිතය ගෙවන්නේ මහලු නිවාසයක. බෞද්ධ ප්‍රතිපදාව නම් තම ජීවිතාන්තය දක්වාම දෙමාපියන් තමන් ළඟ තබාගෙන උපස්ථාන කිරීමයි.
මෙලෙස ප්‍රතිපත්තියට නැඹුරුවෙමින් වෙසක් දිනය අර්ථවත්ව ගතකිරීම තමයි උතුම් ලෙස අපි දකින්නෙ. එමනිසා මෙම වෙසක් දිනය මංගල්‍යයක් කරගැනීමට පින්වත් ඔබ සැම උත්සාහ කරන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි...!