සුවිසල් ගල්කුළු මත බුදු සිරිතේ අසිරිමත් සිදුවීම් නිරූපණය කරන යතිවර හිමිනමක් වැඩවසන වන අරණකි, හිනිදුම නුගගල ආරණ්‍ය සේනාසනය. සිත දියුණු කිරීමෙන් මෝක්ෂය ශාක්ෂාත් කරගැනීමට භාවනායෝගීව වැඩ වසන මේ යතිවරයාණෝ හිනිදුම නුගගල වන අරණේ වසර හතලිස් පහක සිට මේ දක්වා වැඩ සිටිමින් ගල්කටුවක් සහ මිටියක් පමණක් උපයෝගී කරගෙන ආරණ්‍ය සේනාසනයේ පිහිටි ගල්පර්වතවල බුදු සිරිතේ අසිරිමත් සිදුවීම් නිර්මාණය කර ඇත.
සිත් පහන් කරන බොදු චරිතයේ විවිධ අවස්ථා, ස්වාභාවිකත්වයට හා පාරිසරික තත්ත්වයට අනුගත වන සේ නිර්මාණය කර තිබෙන අයුරු සැබැවින්ම දුටුවන්ගේ සිත් පහන් කරනු නොඅනුමානය.
බුද්ධ පරිනිර්වාණය, සත්සතිය, බෝසත් උපත සහ බෞද්ධ සංකේත වන අරණේ පිහිටි සෑම ගල්පර්වතයකම නිරූපණය කර ඇත. අජීවී ගල්කුළුවලට සජීවී බවක් එක්කරමින් බොදු බැතිමතුන්ට බුද්ධාලම්භන ප්‍රීතිය ගෙන දෙන, දුටුවන් මවිත කරවන විශ්මිත කලා නිර්මාණයන් දකින ඔබේ සිතට නිරාමිස චිත්ත සංවේදී බවක් ගෙන දේ.
නෙළුව උඩුගම ප්‍රධාන මාර්ගයේ නෙළුව සිට උඩුගම දෙසට කිලෝමීටර් 12ක් පමණ ගියතැන හමුවන හිනිදුම නුගගල හන්දියෙන් වමට හැරී නුගගල කැලය මැදින් කඳු මුදුනට ගියවිට නුගගල ආරණ්‍යය සේනාසනය හමුවේ.
ගාල්ල, උඩුගම හා පිටිගල, හබරකඩ, තවලම හරහා හිනිදුම මාර්ග හරහා මෙම වන සෙනසුනට ළඟාවිය හැකි මාර්ග වේ. පැවිදි අයට පමණක් නොව ගිහි බැතිමතුන්ගේද සිතට සහනයක් ගෙන දෙන වටපිටාවක නුගගල ආරණ්‍ය පිහිටා තිබේ.
මෙම සෙනසුනේ පුරාවසර හතලිස් පහක කාලයක සිට භාවනානු යෝගී දිවිපෙවතක් ගතකරන නුගගල ආරණ්‍ය සේනාසනාධිපති යාලේගල සුමනජෝති හිමිපාණෝ වසර විස්සක සිට ආරණ්‍ය සේනාසනයේ පිහිටි ගල්පර්වතවල උන්වහන්සේගේ දෑතින් සඳකඩපහණ, ශ්‍රී පතුල සහ ආරණ්‍ය ඉදිරිපිට පිහිටි දැවැන්ත ගල්පර්වතය මත අටරියන් සැතපෙන පිරිනිවන් මංචකය සහ එම ගල්පර්වතයේම සිදුහත් කුමාරෝත්පත්තිය විදහා දැක්වෙන නිර්මාණය අපූරුවට නෙළා ඇත.
අනෙක් ගල්පර්වතවල දුෂ්කර ක්‍රියාව, සත්සතිය ගත කළ අයුරු, ලුම්බිණි සල් උයන, බුද්ධ පරිනිර්වාණය නිර්මාණයක් කර ඇත.
නුගගල ආරණ්‍ය සේනාසන පුදබිම සම්බන්ධව ඉතිහාසය විමසා බැලීමේදී 1954 වසරේ කුඩා ගල්ලෙනකින් ආරම්භ වූ මෙම ආරණ්‍ය සේනාසනය වසර ගණනාවක සිට වල්බිහිවී තිබියදී 1973 වසරේ සිට ආරණ්‍ය සේනාසනයට පැමිණි යාලේගල සුමනජෝති හිමියෝ ප්‍ර‘දේශයේ දායක කාරක කාරකාදීන්ගේ ආගමික කටයුතු ඉටුකරමින් වැඩහිඳ යුගයට ගැළපෙන අයුරින් වැඩිදියුණු කළහ.
භාවනානුයෝගීව සිට පසුව ලැබෙන සුළු විවේක කාලය තුළදී ගල්කටුවක් මිටියක් අතට ගෙන බොදු කලා නිර්මාණයක් කිරීම සුමනජෝති හිමියන්ගේ විනෝදාංශය වුවද එලෙස පුරා වසර විස්සක සිට එවැනි විස්මිත කලාවක් නිර්මාණය කළ උන්වහන්සේ මේ වනවිට තම සිදුකළ නිර්මාණයන් දෙස බලමින් නිරාමිස චිත්ත සුවයක් විඳිමින් කල්ගෙවති.
බොදු අභිමානය මෙන්ම පාරිසරික වටිනාකම රැකගෙන කටයුතු කරන උදාර සමාජ මෙහෙවරක යෙදෙන අතළොස්සක්වූ යතිවරයාණන් වහන්සේලා අතර නුගගල ආරණ්‍ය සේනාසනාධිපති යාලගල සුමනජෝති හිමියෝ සුවිශේෂී වූ හිමිනමකි.
මේ අතීතය හා ආරණ්‍ය සම්බන්ධයෙන් එහි සේනාසනාධිපති යාලගල සුමනජෝති හිමියෝ මෙසේ පැවසූහ.
&මෙම ආරණ්‍ය සේනාසනය 1954 වසරේ හොරණ ඉංගිරියේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ අපවත්වී වදාළ ඔබබොටුවේ ශ්‍රී රේවත ධම්මකිත්ති නායක හිමියන් විසින් ආරම්භ කළා. මම මේ ආරණ්‍ය සේනාසනයට ආවේ 1973 වසරේ. එදා සිට අද දක්වා වසර හතළිස් පහක සිට මේ වන සෙනසුනේ වැඩ සිටිනවා. මම එදා වල් බිහි වී තිබුණ මෙම වන සෙනසුන වැඩිදියුණු කළා. මෙම ප්‍ර‘දේශයේ අවට ගම්මානවල දායක දායිකාවන් නොමසුරු සහයෝගය දුන්නා. මට සහජයෙන්ම කලා කුසලතා තිබෙනවා. ගල්පර්වතවල බුදු පිළිම නෙළන්න හැකියාවක් තිබෙනවා. මම එදා සිටම මේ දක්වාම මෙම වන සෙනසුනේ තිබෙන ගල්පර්වතවල බුදු හිමියන්ගේ ගුණ, බුදු සමිඳුගේ ජීවිතයේ අසිරිමත් සිදුවීම් ගල්වල කෙටුවා. පන්සලක නම් චිත්‍ර සිතුවම් තිබෙන්නේ. නමුත් ආරණ්‍යයක එහෙම කරන්න බැහැ. ආරණ්‍යයක් වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට දැකබලා ගැනීමට යමක් තිබිය යුතුයි. ඒ නිසා තමයි මම මේ විදියට ගල්කුළු මත බුදුගුණ මැවීමට කටයුතු කළේ. මට මෙම නිර්මාණ කිරීමට දීර්ඝ කාලයක් ගතවුණා. පරිනිර්වාණය නිර්මාණය කරන්න වසර 10ක් ගතවුණා. මගේ ජීවිත කාලයම මම ගතකළේ මෙම නිර්මාණ සමගින්. එයින් මට අධ්‍යාත්මික සුවයක් වගේම සැනසීමක් ලැබෙනවා. මම නිතරම සැතපෙන විට මම නිර්මාණය කළ බුදුගුණ සිතේ මැවි මැවී පෙනනෙවා. එයින් චිත්ත සමාධිය ඇතිවී සුවසේ අවදි වෙනවා. ඒ මොහොත ඇතිවන සතුට ප්‍රීතිය කියා නිමකරන්න බැහැ.
නුගගල ආරණ්‍ය සේනාසනය බෞද්ධයන් විසින් දැක වැඳ පුදා ගතයුතු තැනක්ම වෙයි. සිතේ පවතින දහසකුත් කම්කටොලු, වේදනාවන් කලකිරීම් ආදී නා නා ප්‍රකාර ගැටලු මේ සෙනසුනට පයගැසූ සැනින් අතුරුදහන් වනු නිසැකය. උන්වහන්සේ විසින් පුරාවසර හතලිස් පහක සිට නිර්මාණය කළ කළුගල් කැටයම් අතරේ මුරගල්, සඳකඩ, පහණ දොරටුපාල රූප හා සිදුහත් උපත ආදිය ඉපැරණි රජ දවස කළ නිර්මාණ හා සමානය. උන්වහන්සේ ලියා ඇති සියලු පද්‍යවල අදහස වී ඇත්තේ පරිසරය අප සුරකින බැවින් අප පරිසරය සුරැකිය යුතු බවය.
නෙළුව - පියරත්න ජයවික්‍රම