සිය සැමියා පිළිකාවක් සෑදී මියයාම හේතුවෙන් ඉතා අසරණ වී සිටි වලස්මුල්ල,හොරේවෙල පෝරණුගොඩැල්ලෙහි පදිංචි ශිරෝමි ප්‍රදීපිකා මහත්මිය වෙත නව නිවසක් සාදා බාරදීමේ කටයුත්තක් පසුගියදා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතාගේ ප්‍රධානතත්වයෙන් පැවැත්විණි. මෙම නිවස ඉදිකරලීම සඳහා වියදම් කරනු ලැබුවේ ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරීනි චතුරානි ගමාච්චි මහත්මිය සහ ඇයගේ සැමියා වන චමින්ද උදය කුමාර මහතා විසිනි.
තම ධනය පරිත්‍යාග කරමින් මේ සඳහා මූලිකවී වැඩ කටයුතු කළ ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු මානව සම්පත් නිලධාරිනී චතුරානි ගමාච්චි මහත්මිය මේ පිළිබඳව තම අදහස් දක්වමින්, "මම රැකියාවෙන් ලැබෙන මාසික වැටුපෙන් මාසිකව යම් මුදලක් මෙවැනි අසරණ වෙලා ඉන්න කවුරුන් හෝ වෙනුවෙන් සමාජ සේවා කටයුතු කිරීම සඳහා වෙන් කරනු ලබනවා.
එම කටයුතු වල නිරතවෙමින් සිටින අවස්ථාවක තමයි මට හිතුණෙ නිවෙසක් නැති අසරණ අයෙක් බලලා නිවසක් සාදා දෙන්න ඕන කියලා. මම ඒ පිළිබඳව මගේ මහත්තයාට පැවසුවා. ඇත්තටම මට අද ගොඩක්ම සතුටු දවසක්. මගේ මහත්තයටත් ඒ වගේම සතුටුයි, මේ නිවස හදලා ඉවර වෙනකොට ලක්ෂ 10 කට අධික මුදලක් අපි වැය කරලා තියෙනවා"
රෝහණ ආරියරත්න - හම්බන්තොට