ගල් තලාවක් වගා බිමක් කළ ධෛර්යවන්ත ගොවියා
දැඩි උත්සාහයත්, නොසෙලෙන වීර්යයත්, අසීමිත කැපවීමත් මත රුදුරු ගල් තලාවක් සරුසාර සොඳුරු වගා බිමක් බවට පත් කරන ලද අපූර්ව මිනිසෙකු අපට මුණ ගැසුණේ සුන්දර කඳු පන්තියකින් වටව පිහිටි නාවලපිටිය, නව තිස්පනේ නම් හරි අපූර්ව ගම්මානයෙනි.
ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිව ජීවන අරගලයට මුහුණ දෙමින් සිටි නව තිස්පනේ, හුනුගල්ඔය, අංක එක ගම්මානයේ පදිංචි සනත් හේමසිරි නම් තිදරු පියා මෙම අපූරුතම සොඳුරු මිනිසායි. දරුවන් තිදෙනා ඇතුළු තම පවුලේ සෙසු සාමාජිකයන් ජීවත් කරවීම උදෙසා ඔහු තෝරා ගනු ලැබුවේ කිසිවකු නිකමට හෝ සිතන දෙයක් නොවෙති. කර්කෂක අව් රශ්මියෙන් නිරන්තරයෙන් රත් වෙන ගල් තලාවක් මත වගා කටයුතු සිදු කිරීම උදෙසා ඔහු තෝරා ගනු ලබද්දී බොහෝ දෙනෙකු සිතා ගෙන සිට ඇත්තේ ඔහුගේ මෙම කර්තවය නිශ්පල කටයුත්තක් බවය. එහෙත් කවුරු කෙසේ මොනවා කීවත් සනත් හේමසිරි මහතා ඉන් සැලුණේ හෝ පසුබට වුයේ නැත.
ඔහුගේ සැලසුම හා අධිෂ්ඨානශීලී ක්‍රියාදාමය සැබවින්ම විශ්මය ජනකය. ගල් තලාවක් මත පැලයක් සිටුවීම තබා පස් ස්වල්පයක් හෝ සොයා ගැනීම පවා අසීරුව තිබිය දී ඔහු තම සිතුවිල්ල මත පමණක් සිට කටයුතු කරන්නට විය. සනත් හේමසිරි මහතා අවට ප්‍රදේශවලින් පස් හා දිරා ගිය කොළ රොඬු එකතු කොට ඒවා කර මතින් බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට රැගෙන විත් ගල් තලාව මත පස් තට්ටුවක් නිර්මාණය කරන ලද්දේ බොහෝ දුක් කම්කටුලු රැසක් මැද්දේය. එම ගල් තලාව අඩියක පමණ සරුසාර පස් තට්ටුවකින් වැසී ගියේ සනත් හේමසිරිගේ දහදිය කඳුළු මතිනි. නිසරු ගල් තලාව සරුසාර ගොවි බිමක් දක්වා වැඩි දියුණු කිරීමට සනත් හේමසිරිට වසර ගණනාවක් ගොස් තිබේ.
ගල් තලාව අද වනවිට සිසිල් සෙවණ සලසන විවිධ පලතුරු වර්ගවලින් සමන්විත ගස් කොළ හා විවිධ වූ එළවළු වර්ග පිරී ගොස් ඇත්තේ කිසිවකුට සිතා ගත නොහැකි ලෙසිනි. ගල මත පස් පුරවන ලද මුල් කාලයේ ජල හිඟය විශාල ගැටළුවක් වූ බවත්, ඊට පිළියමක් ලෙස ගල් තලාවෙන් උණන සහ වැසි ජලය රඳවා තබා ගැනීමට ගල් තලාව මතම ජල පොකුණක් සකස් කර ගත් බව සනත් හේමසිරි මහතා කියයි. වර්තමානය වනවිට එම පොකුණ සිය වගාවන් සඳහා හා මිරිදිය මත්ස්‍ය වගාවට ඔහු යොදා ගනී.
මෙමගින් ලැබෙන අස්වැන්නෙන් පවුලේ දෛනික ආහාර අවශ්‍යතාවයන් ඉටු කර ගෙන ඉතිරිය විකුණා තමන් මේ වනවිට ස්ථීර ආදායමක් ලබන බවත්, එමගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා අනෙකුත් අවශ්‍යතා ඉටු කර ගන්නා බව සනත් හේමසිරි මහතා කීය.
සනත් නිශාන්ත මහතාගේ වැඩිමහල් දියණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, අනෙකුත් ළමුන් ද අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිති. ස්ථීර ආදායමක් නොමැතිව රජයට දොස් පවරමින් කාලය ගත නොකළ මේ ආදර්ශවත් මහඟු මිනිසා තමන්ට හිමි සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන ජීවිතය ජය ගෙන ඇත්තේ මෙරට අනෙකුත් ජනතාවට ආදර්ශයක් ලබා දෙමින් ය. ඔහුගේ මෙම අපූර්ව ක්‍රියාදාමය පසුපස සෙවණැල්ලක් ව සිටිමින් දිරිය දුන් තම බිරිඳ නොවන්න ට මෙවන් දෙයක් සිදු කිරීමට නොහැකි වනු ඇති බව සනත් හේමසිරි මහතා කීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

