ලොවින් වඳව ගොස් ඇති බවට සැකකල Orchidaceae පවුලට අයත් මෙරටට ආවේණික උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesii නම් ශාක විශේෂය වසර 160කට පසු නකල්ස් ප්‍රදේශයෙන් නැවත සොයාගෙන තිබේ.
පර්යේෂක භාතිය ගොපල්ලව මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇති අතර ඊට සම්බන්ධව පර්යේෂණ පත්‍රිකාව බ්‍රිතාන්‍යයේ Kew උද්‍යානයේ නිල සඟරාවක් වන Kew Bulletin කියන සඟරාවේ මේවනවිට පළ කර ඇත.
මෙම ශාක විශේෂය මුල් වරට Vanda thwaitesii යන නමින් 1898 දී JD Hooker විසින් Henry Trimen විසින් රචිත The handbook to the flora of Ceylon හි 4 වෙනි වෙළුම යටතේ වාර්තා කර තිබිණි.
කෙසේවුවද ඊට පෙර මෙම ශාකයම 1861 දී Henry Thwaites විසින් Aerides tesellata නමින් චිත්‍ර පදනම් කරගෙන නම් කර තිබුණද එම Aerides tesellata යන නම Vanda tesellata වලට ඉන් පෙර යොදාගෙන තිබීම හේතුවෙන් JD Hooker, Henry Thwaites ගේ නමින් Vanda thwaitesii 1898 දී නැවත නම් කර තිබිණි.
මේ අතර නව ශාක විශේෂයක් ලෙස නම් කළද කිසිදු නිදර්ශකයක් මෙම ශාක විශේෂය සම්බන්ධයෙන් තැන් පත් කර නොතිබූ බැවින් 1861 න් පසු 2021 වන තුරුම මෙහි කිසිදු වාර්තාවක් සඳහන් නොවීම හේතුවෙන් වඳවූ ශාකයක් ලෙස මූලාශ්‍ර කිහිපයකම සඳහන් කර තිබූ බව පර්යේෂකයන් පෙන්වා දෙති.
ඒ අනුව මේ පිළිබද වැඩිදුරටත් පැහැදිලි කරමින් භාතිය ගොපල්ලව මහතා මෙසේ සදහන් කරයි.
" 1998 දී ඉන්දියාවෙන් Sathish Kumar සහ Suresh Kumar විසින් මෙම ශාක විශේෂය නැවත සොයාගත් බවට වාර්තා කර තීබු හෙයින් ශ්‍රී ලංකාවෙන් වඳවූ ශාකයක් බවට සැලකූවද ඉන්දියාවෙන් හමුවන ශාකයක් බවට සලකන ලදී. 2014 වසරේදී ඩේලි මිරර් පුවත්පතේ පල කල ප්‍රවෘත්තියකින් අජන්ත පලිහවඩන මහතා විසින් නැවත මෙය සොයාගත් බවට පළ කල තිබුණද එහි ඡායාරූප සලකන විට (විශේෂයෙන් Lip එක) බොහෝදුරට එය Vanda thwaitesii නොව Vanda teatecea වල දෙමුහුමක් වන බව අප කණ්ඩායමේ මෙන්ම බොහෝ පර්යේෂයකයන්ගේ අදහසයි.
මෙය විද්‍යාත්මකව පළ කර හෝ කිසිදු නිදර්ශකයක් ශාකාගාරයේ තැන්පත් කර නොමැති නිසාම 2020 රතු දත්ත වර්ගීකරණය සම්බන්ධ විශේෂඥ කමිටුවේදී යෝජනා වූයේ වසර 150කට වඩා වැඩි කාලයක් වාර්තා නැති නිසා වඳවී ගිය බවට -Extinct ලෙස වර්ගීකරණය කරන ලෙසයි.
තත්වය මෙසේ තිබියදී රන්ගල ප්‍රදේශයේ ප්‍රදීප් කොඩිතුවක්කු මහතා විසින් මා හට පුද්ගලිකව මෙන්ම "ඔසුපැල හඳුනාගනිමු" නම් ෆේස් බුක් සමූහයේ හඳුනාගැනීමට පළකළ එක් ඡායාරූපක් ගැන අප කීපදෙනෙකුගේම අවධානය යොමු වූණා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදීප් මහතා එම ඡායාරූප ගත්ත පැළය ජාතික උද්භිද උද්‍යානයේ ජාතික ශාක ගවේෂණ වැඩ පිළිවෙළ යටතේ ආචාර්ය සුභානි රණසිංහ මහත්මියගේ අධීක්ෂණය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල දැනුවත් භාවය සහිතව මා විසින් ගෙන එනු ලැබුවා.
2020 රතු දත්ත ලැයිස්තුව මුද්‍රණයට යවන්න අවසන් මොහොතේ අපි කතා බහ කරලා EX කියන කාණ්ඩයට ඇතුලත් නොකර 2012 ලිස්ට් එකේ CRPE (Possibly Extinct ) කියන කාණ්ඩයේම තිබ්බා. ඉතින් දින සති මාස ගණන් බලන් හිටපු ශාකයේ අන්තිමට අවුරුද්දකට විතර පස්සෙ මල් පිපුණා.
ඉන්දියාවේ සතිෂ් කුමාර් ,සුරේෂ් කුමාර් දෙපලට හම්බුණ Vanda thwaitesii කියන විශේෂය 2021දි Martin Motes විසින් එය නැවත සොයාගත්ත මහාචාර්ය සතිෂ් කුමාර් මහතාගේ නමින් Vanda sathishii ලෙස වෙනස් විශේෂයක් ලෙස නම් කරපු නිසා Vanda thwaitesii නැවත ආවේණික වඳවූ ශාකයක් බවට පත්වුණා. අපේ පර්යේෂණ පත්‍රිකාව පිළියෙල කරන අතර අපි මහාචාර්ය.සතිෂ් කුමාර් මහතා සහ ආචාර්ය මාටින් මෝටිස් දෙන්නවම සම්බන්ධ කරගෙන ඔවුන්ගෙත් අදහස් ලබාගත්තා. ඔවුන් ඉතාම සතුටින් නොපැකිළව අපිට තොරතුරු සියල්ල ලබා දුන්නා.
ඒ නිසාම Vanda sathishii සහ Vanda thwaitesii විශේෂ දෙකක් බවට සහතික කරගන්න අවස්ථාව ලැබුණා.ඒ නිසාම Vanda thwaitesii ආවේණික විශේෂයක් බවට නැවත ස්ථාපිත වෙනවා වගේම Hooker ගෙ Description එකේ Type Specimen එකක් සඳහන් නොවන නිසා CP 3378 යටතේ තිබ්බ එක Drawing ,දෙකෙන් එකක් lecto type එක විදිහට Designate කරන එකත් මේ පර්යේෂණයෙන්ම සිදු කළා"
